පවුල්වාදය රජකරවූ පිරිසකට පුංචි ආණ්ඩුවල බලය දෙනවාද?

  👤  3200 readers have read this article !
By mawbima 2017-12-08

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා එජාපයෙන් අපේක්ෂකත්වය ඉල්ලා ඉදිරිපත් කළ අපේක්ෂකයන් 7,000කට අධික සංඛ්‍යාවක් අතුරෙන් සුදුසුකම් ලැබූ අයගේ අපේක්ෂක ලැයිස්තු සකස් කර අවසන් බවත් දැනුමක් ඇති උගත් තරුණ වෘත්තීයවේදීන්, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, ගුරුවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල අය ඒ අතර සිටින බවත් ඒ ඒ පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු අද (08දා) සිට ආරම්භ කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සඳහන් කරයි.

පසුගිය දිනවල තමන් එජාප බල මණ්ඩල රැස්වීම් ගණනාවකට සහභාගි වූ බවත්, ඊට අතිවිශාල පිරිස් සහභාගි වූ බවත් සඳහන් කරන අමාත්‍ය වික්‍රමරත්න මහතා වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර සංහිඳියාව තහවුරු කර විශාල වැඩ කොටසක් ගත වූ වසර කිහිපය තුළ ඉටු කර ඇති බවත් ආණ්ඩුවේ අඩු පාඩු ඇතත් ඒවා නිවැරැදි කරගෙන ඉදිරියට යෑමට ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රධාන වත්මන් ආණ්ඩුව පියවර ගෙන ඇති බවත් පවසයි.

පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථාන ශ්‍රවණාගාරයේදී ඊයේ (07දා) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළකළ අමාත්‍යවරයා ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ජනතාව තෝරාගත යුත්තේ පසුගිය කාලයේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළ, පවුල්වාදී, ඒකාධිපතිවාදී, මිනීමැරුම්වාදී පාලනයක්ද නැත්නම් රට ඉදිරියට ගෙන යන ආර්ථිකය ශක්තිමත් කරන එජාප පාලනයක්ද යන්න තීරණය කළ යුතු බවයි.

අමාත්‍යවරයා එහිදී මෙසේද කීවේය. අය - වැයකදී ආදායම හා වියදම අතර ඇති පරතරය 1948 සිට දක්නට ලැබෙනවා. 2014 අය - වැයේ ප්‍රාථමික අතිරික්තය ඍණ බිලියන 155යි. 2016දී ප්‍රථම වතාවට රුපියල් මිලියන 45ක ධන අතිරික්තයක් පෙන්වූවා. 2017දී එය ධන මිලියන 145 දක්වා ඉහළ ගියා. මේ අය - වැය ඉදිරිපත් කරන විට මුදල් ඇමැතිතුමා කීවේ මම කල්පනා කරන්නේ මාළුවා දෙනවාද බිලීපිත්ත දෙනවාද කියලයි. ඒත් මම දෙන්නේ බිලීපිත්ත කියලයි.

අද හාල් පොල් මිල වැඩි වී තිබෙනවා. පසුගිය කාලයේ එකදිගට අපිට මුහුණපෑමට සිදු වූ ජල ගැලීම් හා නියඟය නිසා අපේ කෘෂි නිෂ්පාදනය පහත වැටුණා. කාලගුණික විපර්යාස ආණ්ඩුවකට පාලනය කරන්න බැහැ. හාල් මිල අඩු කළ හැකි වුවත් පොල් මිල අඩු කරන්න අපහසුයි. පොල් ආනයනය කරන්න බැහැ. නමුත් සමහර දේවල්වල මිල අඩු කළා. ඔෟෂධ මිල විශාල ලෙස අඩු කළා. ඇතැම් ඔෟෂධ සියයට 90කින් පමණ අඩු වී තිබෙනවා. අක්ෂි කාචවල මිල සියයට 37 - 77ත් අතර ප්‍රතිශතයකින් අඩු කළා.

ඒ වගේම කුඩා ව්‍යාපාරිකයන්ට අවශ්‍ය බට්ටා ලොරි, සිංගල් කැබ් රුපියල් ලක්ෂ 3 කින් පමණ අඩු කළා. අය - වැයට පෙර අර්තාපල් බද්ද රුපියල් 39කින්, ලොකු ලූනු රුපියල් 39කින් කරවල රුපියල් 50කින්, පොල්තෙල් රුපියල් 25කින් අඩු කළා. ආණ්ඩුව අඩු කළ ඒ මිල සහනය පාරිභෝගිකයාට ලබාදීම අත්‍යවශ්‍යයි. ඒ වගේම අපි 2015න් පසු ගතවූ කාලය තුළ රැකියා ලක්ෂ 3කට අධික ප්‍රමාණයක් ලබාදී තිබෙනවා.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රජයේ රැකියා ලක්ෂ 7 සිට ලක්ෂ 14 දක්වා වැඩි කළා. එයින් රටේ නිෂ්පාදනයේ හෝ ආර්ථිකයේ සංවර්ධනයක් ඇති වූයේ නැහැ. ඔවුන් එසේ කළේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීමට මිස රටේ අනාගතය ගැන සිතා නොවෙයි. අපි උත්සාහ කරන්නේ රටේ නිෂ්පාදනය වැඩි කරන රැකියා උත්පාදනය කරන්නයි. ඒ වගේම අමතක කරන්න එපා අපි බලයට පැමිණි වහාම ඉන්ධන මිල සියයට 22කින් අඩු කළා. ඒ වගේම අපි කෘෂිබෝග රක්ෂණය ආරම්භ කළා. පරිසරය ආරක්ෂා කරන්න නීලහරිත අය - වැයකට ප්‍රමුඛත්වය දුන්නා.

2025 වනවිට ආණ්ඩුවේ සියලුම වාහන විදුලිය වාහන බවට පත්කරනවා. 2040 වනවිට රටේ සමස්ත වාහන විදුලිය, වාහන බවට පත් කරනවා. හැමවිටම අපි අලුත් ව්‍යවසායකයන් බිහිකරන්නයි කටයුතු කරන්නේ. අද පාසල් 9,500ක දරුවන් ලක්ෂ 45කට සුරක්ෂා රක්ෂණ ක්‍රමය ආරම්භ කළා. මෙයින් එක දරුවකුට රුපියල් ලක්ෂ 5ක රක්ෂණාවරණයක් ලැබෙනවා. ලෝකයේ කිසිම රටක දරුවන් සඳහා මෙවැනි සුරක්ෂා ක්‍රමයක් නැහැ. ලබන වසරේ සිට විශ්වවිද්‍යාල සිසුන්ටත් මේ රක්ෂණාවරණය ලබාදෙනවා.
සෑම දරුවකුටම ශාස්ත්‍රීය අධ්‍යාපනය ගැළපෙන්නේ නැහැ. ඒ නිසා දරුවන් විශාල පිරිසකට වෘත්තීය කාර්මික ඉන්ජිනේරු අධ්‍යාපනය ලබා දෙනවා. 2015දී දළ දේශීය නිෂ්පාදනය 1.9 අපේ රජය මඟින් 2.37 දක්වා ඉහළ නංවා තිබෙනවා. එය 3.00 දක්වා ඉහළට ගන්න අපි පියවර ගෙන තිබෙනවා. අපේ මේ අය - වැය ව්‍යවසායක ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ අරමුණින් සකස් කරන ලද්දක්.

උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon