මෛත්‍රිගේ පාලන කාලයේ වෙනසක් වුණේ නැහැ කියලා කියනව නම් ඒ මොළේ අමාරුකාරයෙක්

  👤  3225 readers have read this article !
By mawbima 2017-12-08

රජය ගතවූ වසර තුන තුළ රටේ යහපාලන සංකල්පය ශක්තිමත් කිරීමේ නියැළී සිටින හෙයින් ජාත්‍යන්තරයෙන් විශාල සහයෝගයක් ලැබී තිබෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ පොළොන්නරුවේදී ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ චීන රජයේ පරිත්‍යාගයක් ලෙස රුපියල් කෝටි 1,200ක වියදමින් පොළොන්නරුවේ ඉදිවන ජාතික වකුගඩු රෝහලට මුල්ගල් තැබීමෙන් අනතුරුව පැවැති උත්සවය අමතමිනි.


දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස මෙය ඉදිවෙයි.
ගතවූ වසර තුන තුළ ඉටු කරන ලද කාර්යයන් සමඟ යහපත් සුබවාදී අනාගතයක් සඳහා අවශ්‍ය ගමන් මඟ සකස් කර ඇති බවත් මිනිසුන්ට නිදහසේ පාරේ යන්නට, කතා කරන්නට, නිදහසේ ලියන්නට, මාධ්‍ය හසුරුවන්න අද සහතික කර තිබෙන බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.
මෙම කාලසීමාව තුළ මාධ්‍ය ආයතන ගිනි ගත්තේ හෝ මාධ්‍යවේදීන්ගේ ජීවිත ඝාතනය වූයේ නැතැයිද එමෙන්ම මාධ්‍යවේදීන්ට රට හැර යෑමට සිදුවූයේ නැතැයි කීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කීය.

රුපියල් කෝටි 1,200ක් වැනි විශාල මුදලක් අපිට චීන රජය, ජනාධිපති ෂෙන් ගින් පින් මැතිතුමා ඇතුළු විශේෂයෙන්ම ජනතාවට ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් මගේ ගෞරවනීය ස්තුතිය මා පුද කරනවා. මේ උතුම් පරිත්‍යාගය අපේ අසරණ රෝගීන් ප්‍රමුඛව ජනතාව වෙත ඉමහත් පරිත්‍යාගයක් ලෙස අපිට ලබාදීම පිළිබඳව.
මේ වසර අපි චීන - ශ්‍රී ලංකා 70 වැනි සබඳතා සමරන වර්ෂයක්. පසුගිය වසර 70ක කාලය සෑම රජයක් යටතේම අපේ රටේ සංවර්ධනයට විවිධ ක්ෂේත්‍ර හරහා ආධාර උපකාර විශාල වශයෙන් කරලා තිබෙනවා. ඒ වගේම වසර 30ක ම්ලේච්ඡ යුද්ධයේදී එල්.ටී.ටී.ඊ.ය පරාජය කරන්නට චීන රජය අපිට සහාය ලබා දුන්නා.
චීනයෙන් මේ ලැබෙන මහා පරිත්‍යාගය වගේම මීට මාස 03කට පෙර ඉන්දීය රජයෙන් මම කරන ලද ඉල්ලීම අනුව සිංහල, දමිළ, ඉංගී්‍රසි තෛ්‍රයි භාෂා පාසලක් ඉන්දීය රජය ලබා දුන්නා.

අප කදුරුවෙල නගරය පසු කරන විට එහි ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු කරමින් පවතිනවා.
කටාර් රාජ්‍යයේ නිල සංචාරයෙන් පසු අපට උදවු උපකාර රාශියක් ලැබුණා.
කටාර් රජයේ සම්පූර්ණ පරිත්‍යාගයක් මත ලංකාවේ ඕනෑම ස්ථානයක මහ නගරයක් ඉදිකරන්න කෝටි සිය ගණනක පරිත්‍යාගයක් කළා. චම්පික රණවක ඇමැතිතුමාට නගර සැලැස්මයි සියල්ල මට භාර දුන්නා.

රුසියානු නිල සංචාරයත් සමඟ ජනාධිපති ව්ලැද්මිර් පුටින් මැතිතුමා සමඟ අපි ඉතා හිතවත් මිත්‍රශීලීභාවයක් ඇති කර ගත්තා. වසර 44කට පස්සේ රාජ්‍ය නායකයකුට එන්න ඇරයුමක් ලැබුණේ මේ රටට රුසියාවෙන්. අපි විශේෂයෙන්ම රුසියාව ලබාදෙන මේ චීනය වගේම දීර්ඝකාලීන සහයෝගිතාව මත මේ ආරක්ෂාවට අවශ්‍ය නැව්, ගුවන් යානා, හෙලිකොප්ටර් ඒ සියල්ල සඳහා විශේෂ වැඩපිළිවෙළක් රුසියන් රජය අපිට ආරම්භ කරලා තිබෙනවා.

ඒ වගේම ඔබ දැක්කා මම ගිය සතියේ කොරියාවේ සංචාරය කළා. කොරියාවේ නව ජනාධිපතිතුමා අපිට උදවු ආධාර රාශියක් දුන්නා. ඔහුගෙන් සමුගන්න වෙලාවේ එතුමා මට කනට කරලා මට කිව්වේ ඕනෑම හදිසි අවස්ථාවක අත්‍යවශ්‍ය කුමක්ද එතුමාට දුරකතන ඇමතුමක් දෙන්න ඒ සැණින්ම එය ඉටු කරනවා යැයි කිව්වා. මේ විදියට අපි ලෝකයේ සෑම රටක් එක්කම යුරෝපයද, ඇමෙරිකාවද අනෙකුත් සියලු රටවල් සමඟ ඒ අන්තර්ජාතික සහයෝගිතාව අපි වර්ධනය කරගෙන තිබෙනවා.
මම ජනාධිපති වෙන්න කලින් මේ රටේ සංවර්ධනයට මේ රටේ ප්‍රධාන වශයෙන්ම ඉදිරි අනාගතය සඳහා අපිට නොතිබූ බලවත්ම ගැටලුව තමයි අන්තර්ජාතික සහයෝගිතාව. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉඳලා ලෝකයේ ප්‍රබල රටවල් අප දෙස බැලුවේ වැරැදි විදියට. අපට උදවු උපකාර කිරීමෙන් වැළැකිලා සිටියා. අන්තර්ජාතික වශයෙන් අපි කොන්වෙලා හිටියා.

කියනවා නම් මේ ආණ්ඩුව මොනවද කළේ කියලා මම හිතන්නේ මොළේ අමාරුවක් තියෙන කෙනෙක් තමයි එහෙම අහන්නේ. වෙනස පැහැදිලිව දකින්න තියෙනවා. ඒ අවශ්‍ය වෙනස, පරිවර්තනය, සංවර්ධනය තුළ පෙන්නුම් කරලා තිබෙනවා. මහ පාරේ යන විට ඔබ මෙතැනින් වමට ගියත් දකුණට ගියත් අද වෙනස දකිනවා.
අද සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගත්තොත් අපිට හොඳ වෛද්‍ය සේවයක් තිබෙනවා.

සෞඛ්‍ය ඇමැතිවරයා විදියට අවුරුදු 05ක මගේ අත්දැකීම්වලදී මම එදා දුටු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අඩුපාඩු ගැටලු සහ ප්‍රශ්න සම්පත් හිඟය ඒවා ඒ කාලය තුළ අවශ්‍ය විදියට වෙනස් කර ගන්න මට ඉඩකඩක් තිබුණේ නෑ. මම සෞඛ්‍ය ඇමැතිවරයෙක් විදියට බොහෝ මානසික පීඩාවන් සමඟ සිටියේ. අමාත්‍යාංශයේ ලේකම්වරයා මාත් එක්ක වැඩ කරන කෙනෙක් නෙවෙයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එදා මාත් එක්ක වැඩ කරන කෙනෙක් නෙවෙයි හිටියේ. ඔවුන් ඒ තනතුරුවල සිටියත් මම කියන දේ අහන්නේ නැතිව වෙනත් අය කියන විදියටයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැසිරුණේ. නමුත් ඒ අභියෝග මැද්දේ මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරන්න මට කළ හැකි උපරිම සේවාව මම ඉෂ්ට කළා.

ඒ ඇති වුණු පීඩාව නිසාම මා ජනාධිපති ධුරයට පත්වූ පසු සිතුවා, මගේ ආණ්ඩුව, මගේ සෞඛ්‍ය ඇමැතිතුමාට නිදහසේ වැඩ කරන්න, තීන්දු ගන්න අවශ්‍ය සියලුම බලතල දීලා අවශ්‍ය සම්පත් දීලා මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරන්න. ඒ සඳහා මම කටයුතු කරලා තිබෙනවා. ඒ පරිවර්තනයත් සිදුවෙමින් යනවා.

කදුරුවෙල - විපුල් ප්‍රියන්ත
පොළොන්නරුව - බණ්ඩාර මුදියන්සේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon