සමුදුරේ සිට රට සුරකින සුර විරුවෝ

  👤  3196 readers have read this article !
By mawbima 2017-12-08

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 67 වැනි සංවත්සරය හෙට (09)දා මහත් අභිමානයෙන් යුතුව සමරනු ලබයි.
නෞකාවක ජීවිතය ඉතාමත් අභියෝගාත්මක එකකි. නිරන්තරව වෙනස් වන සාගර තත්ත්වයන් මත නාවිකයකුගේ ජීවිතය අඛණ්ඩ තර්ජනයන්ට ලක්වීම සාමාන්‍යයයි. මෙවන් රළු සීමිත අවකාශයක තම ජීවිතයේ පන්නරය ලබන නාවිකයකු සැබැවින්ම ඉතාමත් විනයගරුක මෙන්ම ආචාරශීලී පුද්ගලයකුද වේ.

නාවික හමුදාවට ආවේණික වූ නාවික ජීවිතය වෙත යොමු කෙරෙන නාවිකයකුගේ වෘත්තීය සැබැවින්ම අභියෝගාත්මකය. එවන් අභියෝග තුළින් ඔහු ලබන පන්නරය ඔහුගේ ඉදිරි නාවික ජීවිතය මනා ලෙස හැඩගස්වා ගැනීමට මහඟු දායකත්වයක් ලබාදේ. නවීනතම තාක්‍ෂණික අංගයන්ගෙන් මෙන්ම ස්වයංක්‍රිය අවි පද්ධති හා ආවේක්‍ෂණ පද්ධතිවල නිවැරැදි භාවිත කෙරෙහි මෙහිදී ඔහුට උපරිම ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙයි. සිය වෘත්තීය මහත් අභිමානයකින් යුතුව ඉටු කිරීමට මෙම ප්‍රායෝගික දැනුම ඔවුනට මනා රුකුලක් වන අතර එමඟින් ඔහු වෘත්තීය නිපුණත්වයෙන් පිරි අංග සම්පූර්ණ නාවිකයකු බවට පරිවර්තනය කරයි.

ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨය තුළදී මෙන්ම අනෙකුත් පුහුණු ආයතන තුළදී මෙම පුහුණුවීම් ලබාදේ. මෙම පුහුණු කටයුතු සාර්ථකව නිම කරනු ලබන අයට විදේශ රටවල නාවික පාඨමාලා හැදරීමේ අවස්ථාවද නිබඳවම හිමිවේ.

විශේෂයෙන්ම අප සාගර කලාපය හරහා සිදුවිය හැකි මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, තහනම් අවි හුවමාරුව, නීති විරෝධී කටයුතු ආදී විවිධ වූ නීති විරෝධී ක්‍රියාකාරකම් මැඬලීමට මෙම නෞකාවන්ගෙන් ලැබෙනුයේ අමිල දායකත්වයකි. මෙවැනි සාගරික මුර සංචාරයන් තුළින් ඉතාමත් ඵලදායී ප්‍රතිඵල නෙළා ගැනීමට පසුගිය වකවානුව තුළදී නාවික හමුදාව සමත් විය. නිරන්තරයෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව ලෝක සමුද්‍රීය ආරක්‍ෂාව පිළිබඳව මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන අතර නාවික හමුදාව මඟින් 2010 වර්ෂයේදී ආරම්භ කළ 'ගාලු කතිකාව' නම් වූ අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය මේ සඳහා කදිම නිදසුනකි. ගොඩබිම, ගුවන මෙන්ම සාගරික සංග්‍රාම සඳහා පුරෝගාමී වූ විශේෂ යාත්‍රා බළගණය, වෙරළ ආරක්‍ෂිත නාවික සංග්‍රාම සඳහා පිහිටුවා ඇති ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළගණය, මෙන්ම සතුරු බිම් ආක්‍රමණය සඳහා පුහුණු කොට ඉතා මෑතකදී පිහිටුවන ලද නාවික හමුදා මැරීන් බළඇණිය මේ අතරින් සුවිශේෂ වේ. නාවික කිමිඳුම් අංශය නාවික හමුදාව සතු නෞකා ආශි්‍රත රාජකාරි කටයුතු මෙන්ම විවිධ බාහිර කිමිඳුම් අවශ්‍යතා සඳහාද ඔවුන්ගේ සේවය ලබාදේ. ශ්‍රී ලංකා නාවික හමුදාව විවිධවූ ස්වාභාවික ව්‍යසනයන් තුළදී ඉතාමත් අනුපමේය සේවයක් අප රටේ ජනතාව වෙත සපයනු ලැබේ. විශේෂයෙන්ම ගංවතුර, නාය යෑම් සහ ධීවරයන්ට සාගරයේදී සිදුවන උපද්‍රවවලදී ඒ සඳහා මුහුණදීමට සඳහා ක්‍ෂණික ප්‍රතිචාර මුදා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකය නමින් විශේෂිත වූ නාවික බළගණයක්ද නාවික හමුදාව තුළ ස්ථාපනය කොට ඇත.

'රට වට බැඳි රන් වැට' යන විරුදාවලිය ලත් නාවික හමුදාව වත්මන් නාවික හමුදාපතිතුමාගේ නිවැරැදි මඟ පෙන්වීම හා නායකත්වය යටතේ තම වෘත්තීය නිපුණතා මෙන්ම දැනුමද අඛණ්ඩව වර්ධනය කර ගනු ලබන අතරම පවතින සම්පත් ඉතා නිසි පරිදි කළමනාකරණය කර ගනිමින් අප රටට මහඟු විශිෂ්ට සේවාවක් ලබාදීමට අඛණ්ඩව දායක වෙයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon