එල්මෝ සමුගනී!

  👤  3360 readers have read this article !
By mawbima 2017-12-08

උපතිස්ස පෙරේරා

ඉරිදා සවස නිවෙස බලා දුම්රියෙන් යමින් සිටියදී හිතවතකුගෙන් ලද දුරකතන ඇමැතුමකින් මා අන්දුන්කුන්දුන් වූයේ එය සිහිනයක් දැයි සිතා ගැනීමට හෝ නොහැකි අයුරිනි. 'අයියේ එල්මෝ අයියා නැති වෙලා' මොන එල්මෝ අයියාද? මා විමසුවේ අප හිතවත් එල්මෝ ඊට දෙදිනකට පෙර මට හමුවී කතා බස් කළ හෙයිනි.
මට අතිශයින්ම හිතවත් අය ඉන්නේ අතක ඇඟිලි 5ටත් වඩා අඩුවෙනි. ප්‍රසාද් ගුණවර්ධන ඉන් කෙනෙකි. අප කිසි විටෙක නොසිතූ මොහොතක ඔහු අප හැර ගොස් වසර 2ක් ඉක්මවා ඇත. ප්‍රසාද් මෙන්ම සොයුර එල්මෝ ඔබද හිටි හැටියේ මෙසේ අප හැර යාවි යැයි මා තුන් හිතකින්වත් සිතුවේ නැත.
එල්මෝ මා ඔබටත් ඔබ මටවත් කිසිවිටෙක නම කියා අමතා නැත. වසර 30ක පමණ කාලය තුළ දිවයින කර්තෘ මණ්ඩලයේ හිතවතකු තරමට ඔබ අප වෙත සමීප වූ ආකාරය මේ මොහොතේ මට සිහිපත් වන විට දැනෙන වේදනාව දරාගත නොහැකිය.

නිරතුරුව ඔබේ මුව සරසන සිනහව, සුහද බව කාරුණික හා අවංක බව ඔබ සතු අනන්‍යතාවන් විය.
එසේම උපාලි ආයතනයේ වේවා, සිලෝන් නිව්ස් පේපර්ස් ආයතනයේ වේවා ඔබ ඔබේ වගකීම් හරිහැටි ඉටුකරමින් කළමනාකාරිත්වයේ විශ්වාසය හිමිකර ගත් ආකාරය අප සියලු දෙනාට ලබාදුන්නේ හොඳ ආදර්ශයකි.

ඔබේ වියෝවීම නිසා අප ආයතනයේ සභාපති ටිරාන් අලස් මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයත් සිලෝන් නිව්ස් පේපර්ස් කාර්ය මණ්ඩලයත් සෙසු මාධ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයන්ද ගත වූ දින ගණනාව තුළ බලවත් කම්පාවට පත්ව සෝ සුසුම් හෙළුෑ අයුරු අපි දැඩි වේදනාවෙන් යුතුව බලා සිටියෙමු.
හොඳ ගුණ යහපත් මිතුරන් මෙසේ අපට අහිමි වීම නොඑසේ නම් ප්‍රියයන්ගෙන් වෙන්වීම අපට සැබැවින්ම දුකකි. අප මෙන්ම ඔබද ජනතාව අතරේ රැඳෙමින් ඔවුන්ගේ නොමඳ ආදරය හා සෙනෙහස දිනාගෙන ඇති අයුරු නිරතුරුවම ඔබට ලැබෙන දුරකතන ඇමැතුම් අපට සිහිපත් කර දෙයි.

සොයුර! ඔබ ඔබේ දයාබර බිරියට දරුවන්ට ඉටුවිය යුතු යුතුකම් නොපිරිහෙළා ඉටුකළ සදාදරණීය සැමියකු, පියකු ලෙස අපි අත්දැක ඇත්තෙමු. දරුවන්ගේ අනාගතය ගැන ඔබ තුළ තිබූ ඉමහත් බලාපොරොත්තු අපි දනිමු. ඔබ අප නොසිතූ අයුරින් දෙව් මවු තුරුලේ සැතපුනද ඔබේ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉටුවේවායි අපි සැම ප්‍රාර්ථනය කරමු.
සුවහසක් ඥාති හිත මිතුරන්ගේ සෝසුසුම් මැද කනිෂ්ක පුතා, නිරෝමි දියණිය හා බිරිය ශ්‍යාමලීගෙන් සමුගෙන අවසන් ගමන් ගිය ඔබට මොක් සුව අත්වේවායි සිලෝන් නිව්ස් පේපර්ස්හි අප සියලු දෙනාගේ ප්‍රාර්ථනයයි.

ඡායා - අනුරුද්ධ මැදවත්තේගෙදර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon