ආබාධිත පුරවැසියන්ගේ නිවාස සිහිනයට ඇමැති එස්.බී.ගෙන් සුබදායී බලාපොරොත්තුවක්

  👤  3175 readers have read this article !
By mawbima 2017-12-08

හර්ෂනී අර්සකුලරත්න

නිවාස නොමැති ආබාධිත ජනතාවගේ ගැටලුව වසර දෙකක් තුළ විසඳන බවද නිවෙස් නැති ආබාධිත පුරවැසියන් සියල්ල හඳුනාගැනීමට වැඩපිළිවෙළක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් අරඹා ඇති බවද සමාජ සවිබල ගැන්වීම් සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ ඇමැති එස්.බී. දිසානායක පවසයි. ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගියදා (03දා) දිවුලපිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවැති ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය සැමරීමේ ජාතික උත්සවයේදීය.
මේ වනවිට රුපියල් 3000ක දීමනාවක් ආබාධ සහිත පුද්ගලයන් සඳහා ලබාදෙන බවත් එම දීමනාව ලබන පුද්ගලයන් 30,000කට ආසන්න පිරිසක් සිටින බවත් ඇමැතිවරයා පැවැසුවේය.

එම දීමනාව ලබාගැනීමට මේ වනවිට 67,000ක පිරිසක් අයැදුම්කර ඇති බවත් ඉදිරියේදී තවත් 10,000ක පිරිසකට එම දීමනාව ලබාදීමට කටයුතු යොදමින් සිටින බවත් හෙතෙම පැවැසීය.

ලබන අය වැයට පෙර කැබිනට් පත්‍රිකාවකින් හෝ මේ සඳහා මුදල් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් ඇමැතිවරයා පැවැසුවේය.
එසේම උතුරු - නැඟෙනහිර ආබාධිත පුද්ගලයන් සඳහා වන මධ්‍යස්ථාන කිහිපයක් මේ වනවිටත් ඉදිකරමින් පවතින බවද පසුගිය වකවානුවේ යුද්ධයෙන් බැට කෑ පුද්ගලයන්ගේ ජීවිතවලට මනා රුකුලක් ඒ හරහා උදාවන බවද ඔහු පැවැසුවේය.
තවද මෙරට ආබාධිත පිරිස් වැඩි වැඩියෙන් ජාත්‍යන්තර ආබාධිත ක්‍රීඩා තරගවලට සහ පැරා ඔලිම්පික් තරගයට සහභාගි කරවීමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරයා පැවැසුවේය.

මේ අවස්ථාව සඳහා සමාජ සවිබල ගැන්වීම සුබ සාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක, බස්නාහිර ආණ්ඩුකාර කේ.සී. ලෝගේස්වරන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන ‍ෙදාස්තර කාවින්ද ජයවර්ධන, අජිත් මාන්නප්පෙරුම, පළාත් සභා මන්ත්‍රිවරුන් වන චන්දන ජයකොඩි, කිත්සිරි මංචනායක, එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩිසේ ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon