පඤ්ඤානන්ද නාහිමි ආදාහනය 17 වැනිදා සැවැත් නුවරදී

  👤  3220 readers have read this article !
By mawbima 2017-12-08

ඉන්දියාවේ උත්තර ප්‍රාන්තයේ ලක්නව් නුවර වැඩ විසූ ජේ‍යෂ්ඨතම ධර්මදූත භික්‍ෂුන් වහන්සේ වන අපවත් වී වදාළ අති පූජ්‍ය ගලගෙදර පඤ්ඤානන්ද නාහිමියන්ගේ ආදාහන කටයුතු ඉන්දීය මධ්‍යම රජය සහ උත්තර් ප්‍රාන්ත ආණ්ඩුවේ අනුග්‍රහයෙන් රාජ්‍ය ගෞරව සහිතව ලබන 17 වැනිදා (ඉරිදා) ශ්‍රාවස්ති නුවර ජේතවනාරාමය අබියසදී සිදුකිරීමට ඉන්දීය මහබෝධි සමාගම තීරණය කර ඇත.

පසුගිය බ්‍රහස්පතින්දා අපවත්වී වදාළ ගලගෙදර ලොකු හාමුදුරුවන්ට උපහාර දැක්වීම පිණිස ඉන්දීය මහ ආණ්ඩුවේ උප ජනාධිපති වෙන්කයියා නායිදු, උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත ආණ්ඩුවේ මහ ඇමැති යෝගි ආදිත්‍යනාත් සහ උප මහ ඇමැති කේශව් ප්‍රසාද් මෞර්යාද, ආණ්ඩුකාර ශ්‍රී රාම් නායක්ද ලක්නව් නුවරට පැමිණ උන්වහන්සේගේ දේහයට උපහාර දක්වා ඇත.

පඤ්ඤානන්ද නාහිමියන් වෙතින් අවුරුදු 15කට පමණ පෙර බුදු දහම වැලඳ ගත් උත්තර ප්‍රදේශයේ හිටපු මහ ඇමැතිනී මායාවතී මහත්මිය සිය අනුගාමික නියෝජිතයන් පිරිසක් සමඟ පැමිණ නාහිමි දේහයට පූජෝපහාර දැක්වීම විශේෂ සිද්ධියකි.

ඉන්දියාවේ මහා රාෂ්ට්‍ර, මධ්‍යම, උත්තර් සහ කර්ණාටක ප්‍රාන්ත රාජ්‍යවල ගිහි පැවිදි බෞද්ධ නායකයන්, දේශපාලනඥයන් සහ පඤ්ඤානන්ද හිමියන් වෙතින් බුදු දහම වැලඳගත් දහස් ගණනක් දෙනා මේ වන වට ලක්නව් නුවරට පැමිණ නාහිමියන්ට අවසන් ගෞරව දක්වා ඇත.
1956 ඔක්තෝබර් 14 වැනි දින ලක්‍ෂ සංඛ්‍යාත ජනතාවක් සමඟ බුදු දහම වැලඳගත් බාබා බාබා සහේබ් අම්බෙඩ්කාර්තුමන් පංචශීලයේ පිහිටුවූ භික්‍ෂුන් වහන්සේ අතර මෙතෙක් ජීවත්ව සිටි පඤ්ඤානන්ද හිමියන්ගේ ආදාහන කටයුතු ඉන්දීය මහා බෝධි සමාගමේ මහ ලේකම් පැලවත්තේ සීවලී හිමියන්ගේ අධීක්‍ෂණය යටතේ සිදු කෙරේ. මේ මස 15 වැනිදා තෙක් ලක්නව් නුවර බුද්ධ විහාරයේ තැන්පත් කර තබනු ලබන නාහිමි දේහය එදින සැවැත් නුවරට වැඩම කිරීමට නියමිතය. ආදාහනය සිදු කරනු ලබන්නේ සැවැත් නුවර ජේතවනාරාමය අබියසදීය.

මෙම ආදාහන උත්සවය සඳහා ශ්‍රී ලංකාව, නේපාලය, බුරුමය, තායිලන්තය සහ භූතානය යන රටවලින් ගිහි - පැවිදි බෞද්ධ නියෝජිතයන් සහභාගි වීමට නියමිත බව පැලවත්තේ සීවලී හිමියෝ පැවැසූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon