ජනපති ගන්නා ක්‍රියාමාර්ගය ගැන ජනතාව අවධානයෙන් බලා ඉන්නවා

  👤  3269 readers have read this article !
By mawbima 2017-12-08

බැඳුම්කර කොල්ලය පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව දෙසැම්බර් මස 8 වැනිදා භාරදුන් පසු ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය පිළිබඳව ජනතාව දැඩි අවධානයෙන් සිටින බව ආචාර්ය නාලක ගොඩහේවා 'දේශප්‍රේමී වෘත්තිකයන්ගේ සංසදය' මඟින් පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින් පැවැසීය.
ගොඩහේවා මහතා මෙසේද කීය.

"වර්තමාන රජය ජනතාවගෙන් බලය ගත්තේ හොරු අල්ලනවා කියායි. ඔවුන් එදා ෆයිල් පෙන්නමින් කතා කළේ පසුගිය රජයේ මෙගා ඩීල් හෙළි කරනවා කියලයි. නමුත් බලයට ආ දා සිට නීතිය දිගට හරහට නමමින් බොහෝ දෙනකු අත්අඩංගුවට ගනිමින් මහා මාධ්‍ය සන්දර්ශන කළාට එදා කිවූ එකම මෙගා ඩීල් එකක්වත් අවුරුදු 3ක් ගිහිල්ලත් කරළියට ඇවිල්ලා නැහැ.

කෝ එදා කියපු විදේශ බැංකු ගිණුම්, කෝ එදා කියපු ටෙන්ඩර් වංචා, කෝ එදා කියපු මහා පරිමාණ ව්‍යාපෘතිවලින් ගත්තාය කියන අල්ලස් පිළිබඳ චෝදනා? රටට මෙලෝ වැඩක් නැති විහිළු චෝදනා විතරයි මාධ්‍යවලින් අහන්න ලැබෙන්නේ. වාහන අවභාවිතාවක්, කාටහරි අනුග්‍රාහකත්වය දීමක්, මහජනතාවට යම් යම් භාණ්ඩ බෙදා හෑරීමට අදාළ චෝදනාවන් විතරයි අද අහන්න තියෙන්නේ. ඒවා විමර්ශන කරන්න. ඒකට කමක් නැහැ.

හැබැයි මහජනතාව බලාපොරොත්තු වුණේ ඕවා නොවේ. ඔවුන් හිතුවේ අල්ලන්න මෙගා ඩීල් තියෙනවා ඇති කියලයි. හැබැයි මේ ආණ්ඩුවට නම් දැනටමත් ඇති තරම් දූෂණ වංචා චෝදනා තියෙනවා. ඉන් මූලිකම එක තමයි බලයට ඇවිල්ලා මාස තුනක් යන්නත් කලින් පැටලුණ මහ බැංකු බැඳුම්කර කොල්ලය. එදා කිවූ මෙගා ඩීල් වගේ කට කතා නොවෙයි මේක මහ දවාලේ ඔප්පු වූ හොරකමක්.

රටේ විගණකාධිපති පවා පිළිගත්තා වංචාවක් සිදුවුණා කියලා. මුළු රටම දැන් දන්නවා ඉන් වූ පාඩුව. 2014 රාජ්‍ය ආදායමට හා සමාන පාඩුවක් මේ හොරකම නිසා රටේ ආර්ථිකයට වුණා. රටට වූ රුපියල් ටි්‍රලියනයකට වඩා එහෙමත් නැත්නම් කෝටි ලක්ෂයකට වඩා පාඩු වූ නිසා අද රටේ සමස්ත ජනතාවම දුක් විඳිනවා. මනුස්සයකුට බැංකුවකින් ණයක් අරගෙන වාහනයක් ගන්න, ගෙයක් ‍ෙදාරක් හදාගන්න, ව්‍යාපාරයක් කරගන්න අසීරු වන විදියට රටේ පොලී අනුපාතය ඉහළ ගියේ මේ හොරකම නිසයි.
පෞද්ගලික අංශයේ සේවකයෝ දුක් මහන්සි වෙලා හම්බ කරපු මුදල් විශ්‍රාම ගිය දිනක ගන්න තියෙන අර්ථ සාධක අරමුදලට කෝටි ගණන් මේ අය පාඩු කළා. අද රජයට ආර්ථිකය හසුරුවා ගන්න බැරැව දිගට හරහට ජනතාවගෙන් බදු අය කරන්න සිද්ධ වෙන්නත් මේක මූලික හේතුවක්. විදේශික ආයෝජකයෝ ලංකාව ගැන විශ්වාසය පලුදු වෙලා ලංකාවෙන් මුදල් ඉවත් කරගන්න නිසා රුපියල බාල්දු වෙලා පිටරටින් ගෙන්නන හැම භාණ්ඩයකම මිල වැඩි වෙලා.

මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවො මුළු රටම දන්නවා. ජනාධිපති කොමිසමකින්ම මෙයට සම්බන්ධ පිරිස හෙළිදරව් වෙලා තියෙන්නේ. ඒ අතර ඉන්නවා රටේ ඉහළම තනතුරු දරන හා දරපු අය. දැන් දෙසැම්බර් 8 වැනිදා ජනාධිපති කොමිසමේ වාර්තාව එන්න නියමිතයි. මේ මහා හොරකමෙන් පාඩු විඳින මේ රටේ පුරවැසියන්ට අයිතියක් තියෙනවා වහාම ඒ වාර්තාවේ තියෙන්නේ මොනවාද කියලා දැනගන්න.

ඒ වාර්තාවට අනුව ජනාධිපතිතුමා ගන්න ක්‍රියාමාර්ගය කුමක්ද කියල දැනගන්න ජනතාව බලාගෙන ඉන්නවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමාගෙන් ඒ වාර්තාව ලැබුණ වහාම මාධ්‍යට නිදහස් කරන්න කියලා. මීට පෙර වෙනත් ජනාධිපතිවරු යටතේ හමස් පෙට්ටියට ගිය ජනාධිපති කොමිසම් වාර්තාවලට වුණ දේ මේ වාර්තාවට නොකරන්න කියල මේ රටේ ජනතාව වත්මන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා."

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon