ගස් කඩා වැටිලා දවස් නවයක් ගතවෙලා : ඒවා ඉවත් කරගන්න බැරිව ළතැවෙන පවුල් හයක්

  👤  3211 readers have read this article !
By mawbima 2017-12-08

අධික වර්ෂාවට හා සුළං තත්ත්වය හේතුවෙන් මීට දින 8කට පෙර තම නිවෙස්වලට කඩා වැටුණු ගස් තවමත් ඉවත් කර ගැනීමට නොහැකි වූ අසරණ පවුල් 6ක් අම්බලන්ගොඩ, කුලීගොඩ, මහඅද්දර තොටුපොළ පාර ප්‍රදේශයේදී අපට හමුවිය.

නිවාස අටකට හා ඔවුන් ගමන් කරන අතුරු මාර්ගයට ගස් කඩා වැටී සිදුවී ඇති හානිය දැක බලා ගැනීමට රාජ්‍ය නිලධාරීන් හා මන්ත්‍රිවරු පැමිණියත් තමන්ගේ නිවෙස් මතට කඩා වැටුණු ගස් මෙතෙක් ඉවත් කර ගැනීමට නොහැකි වී ඇතැයි ඔවුහු මැසිවිලි නඟති.
කුලීගොඩ, ඩී. සැම්සන්ද සොයිසා මාවතේ මහඅද්දර, තොටුපොළ පාර, කොඩිතුවක්කු වත්තේ නිවාස දෙකකට ගස් කඩා වැටීමෙන් පූර්ණ හානි සිදුවී ඇති බවත් ලියනගේ වත්ත ගෙවල් එකකට හා තවත් නිවාස 6කට අර්ධ හානි සිදුවී ඇති බවත් ඔවුහු ප්‍රකාශ කරති. එම නිවෙස්වලට කඩා වැටී ඇති ගස් කපා ඉවත් කර ගැනීමට විරුද්ධව ඉඩම් හිමි කාන්තාවක් නීති මඟින් කටයුතු කිරීම මෙයට හේතුව බවද නිවැසියෝ කියති.

හික්කඩුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් අංක 78 බී, කුලීගොඩ බටහිර නිලධාරි වසමේ පදිංචි කෝරලගේ ස්වර්ණලතා යන අයගේ නිවෙසට කඩා වැටුණු දැවැන්ත කොස් ගසක් මේ වන විටත් නිරුපද්‍රිතව එම නිවෙසේ වහල මත තිබෙන අයුරු එහි ගිය අපට දක්නට ලැබිණි. මෙම නිවෙස්වල පාසල් දරුවන්ගේ පොත්පත් මෙන්ම ඇඳුම් පැලඳුම් හා නිවාස, මුළුතැන්ගෙයි උපකරණ, ඇ¼ද ඇතිරිලි සියල්ලක්ම වැස්සට තෙමී තෙතබරිත වී තිබෙන අයුරු මෙන්ම පාසල් පොත් වේළා ගැනීමට උත්සාහ දරන දරුවන් කිහිප දෙනකුද ඔවුන් අතර විය.

ස්වර්ණලතා මහත්මිය අප සමඟ පැවැසුවේ, මගේ දුවලා දෙන්නත් බෑනත් කුඩා දරුවෝ දෙන්නත් 29දා රාත්‍රි 7.30ට පමණ නිවෙසේ සාලයේ අවදියෙන් සිටි නිසා තමන්ගේ ජීවිත බේරුණ බවයි. එය හාස්කමක් මෙන් බවද ඇය ප්‍රකාශ කළාය. අන්ත අසරණ තත්ත්වයේ සිටින මෙම පවුලට ආර්ථික ශක්තියක් නොමැති වීමෙන් අසල්වැසියන් ලබාදෙන ඇඳුම් පැලඳුම් හා ආහාර ගෙන මේ වන විට ජීවත් වීමට සිදුව ඇතැයි හැඬූ­­ කඳුළින් පැවැසීය.

එම අසලට රැස්වූ පිරිස පැවැසුවේ කොඩිතුවක්කු වත්තේ ගෙවල්වලට ගස් කඩා වැටී පාරවල් අවහිර වෙලා තිබෙන බවත් මේවා ඉවත් කර ගන්න ගම්වල මිනිස්සු එකතු වුණාම අසල නිවෙසක කාන්තාවක් අම්බලන්ගොඩ පොලිසියේ නිලධාරීන් පිරිසක් සමඟ පැමිණ ගම්මුන් බිය වද්දා පලවා හැරි බවයි.

ටී - 56 ගිනි අවි, අත් මාංචු රැගෙන පැමිණි පොලිස් නිලධාරීන් මේ ගස්වලට අත තිබ්බොත් හිරබත් කන්න වෙනවා යැයි ගැමියන්ට තර්ජනය කිරීම නිසා නිවෙස් මතට කඩා වැටී තිබූ ගස් ඉවත් කිරීමට යාන්ත්‍රික කියත් රැගෙන පැමිණි අයද බය කර පලවා හැරි බවත් නිවැසියන් ප්‍රකාශ කළේය.

කුලීගොඩ, බටහිර 78, ග්‍රාම නිලධාරිනි නදීකා නිල්මිණි මහත්මිය දුරකතනයෙන් අප සම්බන්ධ කර ගත් අවස්ථාවේ ඇය පැවැසුවේ ඔය කියන ස්ථානයට තමන් පැමිණෙන බවත් පැමිණි පසු විස්තර කියන බවත්ය. එහෙත් පැයකට අධික කාලයක් අපි එහි රැඳී සිටියද ඇය නොපැමිණියාය. පසුව හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මේ පිළිබඳව කළ විමසීමේදී එහි ප්‍රකාශකයකු පැවැසුවේ ඔය කියන කොඩිතුවක්කු වත්ත, ලියනගේ වත්ත කියන ඉඩම් සම්බන්ධයෙන් බෙදුම් නඩුවක් තිබෙන නිසා මේ තත්ත්වය උදා වී ඇති බවත් එම කරුණු මානුෂීයව සිතා බලා මෙම ගස් ඉවත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බවත්ය.
බළපිටිය -
දම්සරී ලියනගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon