රෝග හයකින් පීඩා විඳින හදවත් රෝගී පුංචි ප්‍රගීත්ට පිහිට වෙමු

  👤  3242 readers have read this article !
By mawbima 2017-12-08

හදවත් රෝගයක් ඇතුළු උපතින්ම වැලඳුණු රෝගාබාධ හයකින් පීඩා විඳින තම දරුවා සුවපත් කරගැනීමට උපකාරයක් කරන්නැයි හසලක හතේ ඇළ, 346 නිවෙසේ පදිංචි අඹුසැමි යුවළක් දානපති පින්වතුන්ගෙන් ඉල්ලා සිටිති.

මේ අවාසනාවන්ත ඉරණමට ගොදුරු වී සිටින්නේ හසලක හතේ ඇළ, 346 නිවෙසේ පදිංචි එම්. ප්‍රගීත් දිල්ෂාන් නම් වූ පස් හැවිරිදි දරුවෙකි.
උප්පත්තියෙන්ම ඔහුගේ හදවතේ සිදුරක් හට ගෙන ඇති අතර වෑල්වයක් සිහින් වීමේ රෝගී තත්ත්වයකටද මුහුණ දී සිටී. මීට අමතරව මේ දරුවා මස්තිස්ක අඝාතය, අපස්මාරය, මන්ද මානසික, ඇවිදීමට නොහැකි, කියැවීමේ හා කථන අපසුතා ආදී බහුවිධ රෝගාබාධ රැසකින්ද පීඩා විඳින බව වෛද්‍යවරුන් විසින් ලිඛිතව තහවුරු කර ඇත.
එකකට එකක් වෙනස් මෙම රෝගී තත්ත්වවලට ප්‍රතිකාර ලබාදීම සඳහා මෙම දරුවා සති පතා මෙන්ම මාස් පතා මහනුවර, පේරාදෙණිය, බදුල්ල, මහියංගණ, කොළඹ රිජ්වේ ආදී රෝහල් රැසක් වෙත ගෙන යෑමට සිදුව ඇති අතර ඒ සඳහා වියපැහැදම් සොයාගත නොහැකි වීම නිසා ඇතැම් විට දරුවාගේ ප්‍රතිකාර නිසි පරිදි කරගෙන යා නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි මවුපියෝ පවසති.

දරුවාගේ පියා වන එස්.එම්. හිරුෂාන් පවසන්නේ,
"අපිට ජීවත් වෙන්න කිසිම ආදායමක් නැහැ. සමෘද්ධිය ලැබෙනවා. ඒත් ආධාර විදියට ලැබෙන රුපියල් 3000වත් ලැබෙන්නේ නැහැ.
දරුවා රෝහල් ගෙනියන්න ඕනේ නිසා කුලී වැඩකට යන්නත් බැහැ. පුළුවන් වෙලාවට නෝනයි මායි දරුවා උස්සගෙන ගිහින් පාරක් අයිනේ තියාගෙන අතපාල කාගෙන් හරි ආධාරයක් ඉල්ල ගන්නවා. ඒ ඇරුණම පොඩි වෙළෙ¼දාමක් කරනවා. ඒ ලැබෙන ආදායම එක දවසක් දරුවා කොළඹ ගෙනියන්නවත් මදි. ඒත් දරුවා ජීවත් කරගන්න ඕනි නිසා වේලක් ඇර වේලක් කාල හරි අපි නොමැරී ජීවත් වෙනවා. අපි මේ පත්වෙලා ඉන්න අසරණකම බලලා කවුරු හරි උදව්වක් කරනවා නම් පින් අත්වෙනවා."
දරුවාගේ මව වන එම්.එම්. රේණුකා ගුණරත්නගේ නමින් හසලක ලංකා බැංකු ශාඛාවේ අංක 9545428 යටතේ ගිණුමක් විවෘත කර ඇති අතර දුරකතන අංක 0727305037ට ඇමැතීමෙන්ද ඔවුන් සම්බන්ධ කර ගත හැකිය.

මීගහකිවුල - රුවන් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon