ඩී.කේ.පී. දසනායකගේ ඇප අයැදුම 4වැනි වරටත් කල්යයි

  👤  3318 readers have read this article !
By mawbima 2017-12-08

මාස 09ක් තිස්සේ රිමාන්ඩ් සිරභාරයේ සිටින යුද සමයේ නැඟෙනහිර පළාත් බුද්ධි අංශ ප්‍රධානියත්, නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකයාත් ඇතුළු බුද්ධි අංශ නිලධාරීන් 06 දෙනාගේ ඇප අයැදුම්පත් ඊයේ (07දා) සිවුවැනි වරටත් විභාගයට නොගෙනම ලබන ජනවාරි මාසය දක්වා කල් තැබිණි.
මෙම වාර 04න් 02කදීම ඔවුන්ගේ ඇප අයැදුම්පත් මෙලෙස විභාගයට නොගෙනම කල් තබන ලද්දේ ඒ දින දෙකෙහිදීම නීතිපති නිලධාරිවරයා අධිකරණයට නොපැමිණ සිටීමේ හේතුව මතය.

ඊයේ දිනයේත්, ඊට පෙර නඩු දිනයේත් ඔවුන්ගේ ඇප අයැදුම්පත් මෙලෙස විභාගයට නොගෙනම කල් තබන ලද්දේ නඩුව විභාග කරන විනිසුරුවරයා අධිකරණයට නොපැමිණ සිටීමේ හේතුව මතය.

ඊයේ (07දා) මෙම නඩුව කොළඹ මහාධිකරණයේදී ටී.ආර්. හෙයියන්තුඩුව විනිසුරුතුමන් හමුවේ කැඳවන ලද අතර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේ‍යෂ්ඨ රජයේ නීතිඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ නඩුව විභාග කරන විනිසුරුතුමන් නොපැමිණ සිටින හෙයින් නඩුව වෙනත් දිනයකට කල්දමන ලෙසය.
එහිදී ඇප අයැදුම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මෛත්‍රි ගුණණරත්න මහතා කියා සිටියේ මෙය ඉතාමත්ම අසාධාරණ හා අවාසනාවන්ත තත්ත්වයක් බවත් වසර 20ක තම සේවා කාලය තුළදී ඇප අයැදුම්කරන්නකු මෙවන් අසරණ තත්ත්වයකට පත්වූ අවස්ථාවක් තමා දැක නොමැති බවත්ය.

ඊට ප්‍රතිචාර දක්වමින් විනිසුරු හෙයියන්තුඩුව මහතා කියා සිටියේ අදාළ නඩුව විභාග කරන විනිසුරුවරයා ඉදිරියේම එම අයැදුම්පත විමසුමට ලක් කිරීම සාමාන්‍ය පිළිවෙළ බවත්, එම විනිසුරුවරයා නොමැති අවස්ථාවකදී එම අයැදුම්පත විමසුම වෙනත් දිනයකට කල්තැබීම සාමාන්‍ය පිළිවෙත බවත්ය.
මේ අනුව ඇප අයැදුම්පත් පිළිබඳ නඩු විභාගය ලබන ජනවාරි මස 09 වැනි දිනට කල් තැබිණි.

මෙම ඇප අයැදුම්පත් ඉදිරිපත් කොට තිබුණේ තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගන්නා ලද ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී. දසනායක, කමාන්ඩර් සුමිත් රණසිංහ, ලක්‍ෂ්මන් උදය කුමාර, කිත්සිරි ධර්මවික්‍රම හා වික්‍රමසූරිය යන නාවික හමුදා නිලදරුවන්ය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon