දෙසැම්බර් 31තෙක් කාලය දීර්ඝ කරලා

  👤  3266 readers have read this article !
By mawbima 2017-12-08

කමල් මහේන්ද්‍ර වීරරත්න

ආන්දෝලනාත්මක මහ බැංකු බැඳුම්කර වෙන්දේසි පිළිබඳව විමර්ශනය සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව පිළියෙල කිරීමේ කටයුතු අවසන් කර ගැනීම සඳහා තවදුරටත් සති 03ක කාලයක් ලබාදෙමින්...කොමිසමෙහි අධිකාරි පත්‍රය දෙසැම්බර් 31 වැනි දින දක්වා දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇත.

කොමිසමේ අධිකාරි පත්‍රයේ වලංගුභාවය 2017 දෙසැම්බර් මස 08 වැනි දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණද පරීක්ෂණ කටයුතු නිමා කිරීමෙන් පසු ආරම්භ කළ එහි වාර්තාව පිළියෙල කිරීමේ කටයුතු අවසන් කර ගැනීම සඳහා අවම වශයෙන් තවත් සති 02ක වත් කාලයක් අවශ්‍ය වන බවට කොමිසම විසින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කරන ලද දැනුම් දීම අනුව මේ මස 31 වැනි දින දක්වා කොමිසමෙහි අධිකාරි පත්‍රය දීර්ඝ කරමින් සති 3ක පමණ කාලයක් ලබාදෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

කොමිෂන් සභාපතිවරයා වශයෙන් මේ වනවිටත් සේවයේ නියුතු ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාර ජනාධිපති නීතිඥ කේ. ටී. චිත්‍රසිරි මහතාත් සෙසු සාමාජික කොමසාරිස්වරුන් දෙදෙනා ලෙස මේ වන විටත් සේවයේ නියුතු තවත් ජේ‍යෂ්ඨ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකු වන ජනාධිපති නීතිඥ ප්‍රසන්න එස්. ජයවර්ධන මහතා සහ සේවයෙන් විශ්‍රාම ලැබ සිටි නියෝජ්‍ය විගණකාධිපතිවරයකු වූ කන්දසාමි වේලුපිල්ලේ මහතාද පත් කරනු ලැබීය.

වත්මන් රජය බලයට පත්වූ පසු 2015 පෙබරවාරි මස 01 වැනි දිනත් _ 2016 මාර්තු මස 31 වැනි දිනත් අතර කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එහි නව සභාපතිවරයා ලෙස නව රජය විසින් පත් කරන ලද මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ පාලනය යටතේ සිදු කරන ලද ආන්දෝලනාත්මක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසි සම්බන්ධයෙන් කරුණු සොයා බලා විමර්ශනය කොට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට දන්වමින් ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත් කරන ලදී.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජේ‍යෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල්වරුන් වන ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා හා ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ ජේ‍යෂ්ඨ අතිරේක හා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරුන් ඇතුළු රාජ්‍ය නීතිඥ මණ්ඩලයක් කොමිසමට සහාය විය.
ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රවීණ පරීක්ෂණ නිලධාරියකු වන සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ විමර්ශන නිලධාරි මණ්ඩලයක්ද කොමිසමට සහාය විය.

පුරා මාස 10ක පමණ කාලයක් තිස්සේ පවත්වන ලද සොයා බැලීම් විමර්ශන හා වෝහාරික විද්‍යා පරීක්ෂණ ඇතුළු විවිධ ක්‍රමවේදයන් ඔස්සේ සොයා ගන්නා ලද දස දහස් ගණන් දත්ත හා ලිපි ලේඛනත් විද්‍යුත් මෙවලම් හරහා හුවමාරු වූ රහස් පණිවුඩ ආදියත් උපයෝගී කර ගනිමින් සිදු කරන ලද විමර්ශනයේදී ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසිවලදී සිදුව ඇති විවිධ නොපනත් කම් අක්‍රමිකතා ආදිය අනාවරණය කර ගැනීමට කොමිසම සමත් විය.
එලෙස අනාවරණය කරගත් තොරතුරු හා තහවුරු කරගත් කරුණු මත මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු නිලධාරීන්ද මැති ඇමැතිවරුන්ද පමණක් නොව අගමැතිවරයාද කොමිසම හමුවට කැඳවා කරුණු විමසීමට ත්‍රිපුද්ගල කොමිසම පොහොසත් විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon