බෝට්ටුව පෙරළෙද්දී එක් අයෙක් මුහුදේ ගිලුණා

  👤  3217 readers have read this article !
By mawbima 2017-12-08

"බෝට්ටුව පෙරළෙනකොට තුවාල ලබා හිටිය කෙනා වතුරේ ගිලිලා නොපෙනී ගියා. අපි පස් දෙනෙක් අමාරුවෙන් බෝට්ටුවේ එල්ලී හිටියා. පැය ගාණක් ජීවිතයත් මරණයත් අතර පොර බැදුවා" යැයි මාලදිවයින් මුහුදු කලාපයේදී මුහුදු බත්වූ "ටංගා" ධීවර යාත්‍රාවේ ගමන් ගත් ධීවර කාර්මිකයකු වූ කේ. එච්. සුගත්, ඉරානයේ ටෙහෙරාන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සිට "මව්බිම"ට පැවැසීය.

ඔක්තෝබර් 10දා මිරිස්සෙන් මුහුදු ගිය මේ ධීවර පිරිස නැවත ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී පසුගිය 29දා හමා ගිය සුළි කුණාටුවත් සමඟ බෝට්ටුව පෙරළී යෑමෙන් අනතුර සිදුවී ඇත. ඒ වන විට බෝට්ටුවේ හය දෙනකු ගමන් කරමින් සිට ඇති අතර ඉන් එක් අයකු මුහුදු රළ අතර ගිළී අතුරුදන්ව ඇත. අනතුරට පත්ව සිටි ධීවර පිරිස පැය දෙකහමාරක පමණ අසීරු මෙහෙයුමකින් පසුව ඉරාන නෞකාවක නැවියන් පිරිසක් විසින් බේරාගෙන තිබේ.

මුහුදු රළ අතර ජීවිතයත් මරණයත් අතර සටන් කළ ධීවර කාර්මික සුගත් ඒ මොහොතේදී තමන් මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් "මව්බිම"ට විස්තර කළේ මෙසේය.
"බෝට්ටුව පෙරළෙනකොට තුවාල ලබලා හිටපු කෙනා වතුරේ ගිලිලා නොපෙනී ගියා. අපි පස් දෙනෙක් අමාරුවෙන් බෝට්ටුවෙ එල්ලිලා හිටියේ. පැය ගාණක් ජීවිතයත් මරණයත් එක්ක පෙර බැදුවා.

ඒ වෙනකොට පාන්දර 1.30ට විතර ඇති. ටික ටික රළු වෙමින් තිබුණු මුහුද හිතා ගන්න බැරි තරම් කැලඹුණා. අපි බෝට්ටුව නවත්තලා ඇන්කර් එක දැම්මා.
ඒත් එකපාරටම ආපු දැවැන්ත රළ පහරකට බෝට්ටුව පෙරළිලා ගියා. අපි පැය දෙකක් බෝට්ටුවේ හිටියා. එක්කෙනෙක් අපේ බෝට්ටුවට වෙනත් බෝට්ටුවකින් ගෙනත් දැම්ම කෙනෙක්. එයා හිටියේ තුවාල වෙලා.

උදේ 7.30ට විතර ආපු නැවක් දැකලා අපි ඇඳන් හිටපු ටී ෂර්ට් ගලවලා වනන්න ගත්තා. ඊට පස්සේ ඔවුන් ඇවිත් පැය ගාණක් උත්සාහ කරලයි අපේ ජීවිත බේරාගත්තේ...."
මේ පිළිබඳ තානාපති කාර්ය මණ්ඩල ප්‍රධානී වයි. කේ. ඒ. රෝහනජිත් මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවැසුවේ බේරාගත් ධීවරයන් පස්දෙනා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව හා ඔවුන් සඳහා ගුවන් ටිකට් ලබා ගැනීමට විදේශ අමාත්‍යාංශයේ අවසර ලබාගත් විගස ඔවුන්ව මෙරටට එවීමට හැකිවන බවය.

ටිකට් සඳහා අවසර ලබා ගැනීමට අවශ්‍ය ලියකියවිලි මේ වන විටත් මෙරට විදේශ අමාත්‍යාංශයට ෆැක්ස් කර තිබෙන බවද ඒ සඳහා අමාත්‍යාංශයේ අවසරය අද (8දා) දිනයේ ලබා ගැනීමට බොහෝ දුරට හැකියාව තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon