විජිත - ෆයිසර් මැති සබයේදි ගැටෙති

  👤  3366 readers have read this article !
By mawbima 2017-12-07

පාර්ලිමේන්තුවේ ඊයේ (06දා) දින පැවැති අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදයේදී දවස පුරාම වාගේ ආණ්ඩු පක්ෂයේ එක් කැබිනට් අමාත්‍යවරයකුට විපක්ෂයෙන් දැඩි ප්‍රහාරයක් එල්ල විය. එම කැබිනට් අමාත්‍යවරයාද නිකන් හිටියේ නැත. එම චෝදනාවලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීය.
මේ හේතුව නිසා මැතිසබය කිහිප අවස්ථාවක්ම උණුසුම්කාරී වූ අතර එදින ඇති වූ දෙබස් හුවමාරුවලින් රසවත් බවක්ද මැතිසබයට එක් කෙරිණි.
ඒකාබද්ධ විපක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පමණක් නොව ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු මෙසේ චෝදනා එල්ල කරන ලද්දේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාටය.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශය, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල කාරක සභා අවස්ථාවේ වැය ශීර්ෂ විවාදයට ගැනිණි.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය ගැන පැවැත්වෙන විවාදයට බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබුණේ පළාත් පාලන මැතිවරණයට අදාළ ඇතැම් කටයුතු එම අමාත්‍යාංශයට සම්බන්ධ වී තිබුණු නිසාය.

පළාත් පාලන මැතිවරණය නිසි කලට වේලාවට නොපැවැත්වීම සම්බන්ධයෙන් ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනා දෙකක්ම පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කර තිබුණු අතර එක් විශ්වාසභංග යෝජනාවක් ඒකාබද්ධ විපක්ෂය මඟින්ද තවත් විශ්වාසභංග යෝජනාවක් ජනතා විමුක්ති පෙරමුණ මඟින්ද ඉදිරිපත් කර තිබිණි.
මේ නිසා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදී තමන්ට ප්‍රහාර එල්ල වන බව ඉවෙන් මෙන් දන්නා ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා මැතිසබය තුළ තම ආසනයේ අසුන්ගෙන සිටියේ සූදානම් ශරීරයෙනි.
ප්‍රථම ප්‍රහාරය ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාට එල්ල වූයේ ජනතා විමුක්ති පෙරමුණෙනි. එහි ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා විවාදයට එක්වෙමින් කියා සිටියේ ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාගේ පොරොන්දු ගැන කිසිදු විශ්වාසයක් නොමැති බවයි.

'සයින්දමරුදුවලට වෙනම ප්‍රාදේශීය සභාවක් ලබාදෙනවා කියලා රවුෆ් හකිම්, රිෂාඩ් බදියුදීන්, ෆයිසර් මුස්තාපා අමාත්‍යවරුන් පොරොන්දු වුණා. අද වනවිට ඒ පොරොන්දුව ඉටුවෙලා නැහැ. ඊට එරෙහි ජනතාව උද්ඝෝෂණය කරනවා' යනුවෙන් විජිත හේරත් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
රීති ප්‍රශ්නයක් මතුකරමින් පිළිතුරු දීමට නැඟී සිටියේ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාය.

'මේ ගැන අපි අවධානය යොමුකරලා තියෙන්නේ. කල්මුණේ ජනතාව මීට විරෝධය පළකරලා තියෙනවා. මේ ගැන දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කරනවා. ගින්නට පිදුරු දාන තත්ත්වයක් තමයි දැක්වෙන්නේ. නමුත් මෙම ගැටලුව සාධාරණව විසඳනවා කියලා මං පොරොන්දු වෙනවා' යනුවෙන් ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා ප්‍රතිචාර දැක්වීය.
'ඇවිළෙන ගින්නට පිදුරු දැම්මේ අපි නොවෙයි. ගින්නට පිදුරු දැම්මේ ඔබතුමායි. අපි කියන්නේ ඉක්මනට මේ ගින්න නිවා දමන්න පියවර ගන්න කියලයි' යනුවෙන් ඊට වහාම ප්‍රතිචාර දැක්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතාය.

'ඔබතුමා තමයි ඔය පිදුරු දාන්නේ' ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා සඳහන් කළේය.
'ඔබතුමා පිදුරු විතරක් නෙවෙයි, දැන් පෙට්රලුත් දාලයි තියෙන්නේ. අපි ඉල්ලන්නේ මේ ගින්න නිවන්න කියලයි' යනුවෙන් විජිත හේරත් මන්ත්‍රිවරයා වහාම ප්‍රතිචාර දැක්වීය.
'මං පොරොන්දු වෙනවා මෙම ගැටලුව විසඳනවා කියලා' යළිත් පැවසුවේ ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාය.
'ඔබතුමාගේ පොරොන්දු ගැන සත පහක විශ්වාසයක් අපට නැහැ. ඡන්දෙ තියෙනවා කියලා කොච්චර පොරොන්දු ලබාදුන්නාද' යනුවෙන් විජිත හේරත් මහතා ප්‍රතිචාර දක්වන විටම යළිත් නැඟී සිටියේ ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාය.
'ඔබතුමාලාගේ සුළු දේශපාලන පක්ෂවලට සාධාරණයක් ඉටුකරන්න මං හුඟක් මහන්සි වුණා. ඒ වෙනුවෙන් ඔබතුමාගේ නායකතුමා අනුර කුමාර දිසානායක මැතිතුමා මට ස්තූති කළා' යනුවෙන් ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

'අපේ මතවාදය සුළු නැහැ. අපේ මතවාදය විශාලයි. ප්‍රමාණයෙන් අපි කුඩා වෙන්න පුළුවන්. නමුත් මතවාදය විශාලයි. ඔබතුමාලා තමයි ඡන්දෙ කල් දාන්න ගේම් ගැහුවේ. පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමෙන් ඒක ඔප්පු වුණා. හොඳ පනතක් ගෙනැල්ලා ගොම නාගත්තා. ගොම ඉහගත්තා. නාගත්තා. ඒ විශ්වාසය ආපහු ගොඩනඟන්න පුළුවන් වෙයිද කියල බලමු' විජිත හේරත් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

'මේ රටේ ඕනෑම පුද්ගලයකුට අධිකරණයට යන්න පුළුවන්. නීතිය ගැන දන්නෙ නැත්නම් තමුන්නාන්සේ' යනුවෙන් ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා සඳහන් කළේය.
'මට කතාකරන්න අයිතියක් තියෙනවා. නීතිය ගැන දන්නවා නම් වැරැදි ගැසට් එකක් ගහනවාද?' යනුවෙන් විජිත හේරත් මන්ත්‍රිවරයා ප්‍රතිචාර දැක්වීය.
මෙම ප්‍රතිචාරයට තරමක් කේන්ති ගිය ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා යමක් ප්‍රකාශ කළද මැතිසබය තුළ පැවැති ඝෝෂාකාරී තත්ත්වය නිසා එය පැහැදිලි නොවීය.
'සුජීව වගේ මෙයත් නාගන්නවා. බැඳුම්කරේ වගේ තව නාගන්නවා. කෑගහන්න, කෑගහන්න තව නාගන්නවා' යනුවෙන් විජිත හේරත් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
ඉන්පසුව ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කෙරුණේ එක්සත් ජාතික පක්ෂයෙනි. ප්‍රහාරය එල්ල වූයේ එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මන්ත්‍රිවරයාගෙනි.

'ඡන්දෙ කල් දාන නිසා බාලගිරියා කියලා නමකුත් මෙතුමාට පටබැඳුණා. බාලගිරි දෝෂය අද නොවේ හෙට කියලා ගම්වල ගෙවල්වල බිත්තියේ අඟුරු කැබැල්ලකින් සටහන් කරනවා. දැන් එහෙම කරන්න ඕන නැහැ. ඔබතුමාගෙ ෆොටෝ එකක් බිත්තියේ ඇලෙව්වාම මිනිස්සු දන්නවා, බාලගිරි දෝෂය අද නොවේ හෙට කියලා' යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා චෝදනා කරන ලද්දේ ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාටය.

මේ අතර තමාට ශ්‍රී ලංකාවේ හරිත රන් සම්මානය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් හිමිවූ බවද චමින්ද විජේසිරි මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේ දහවල් 12.15ට පමණය. පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළුවන ආලින්දය දෙපස බිත්තිවල ප්‍රදර්ශනය පුවරුවල තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ඡායාරූප මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් හොඳින් නිරීක්ෂණය කරන ලදී. 1970 පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජනතා නියෝජිතයන්ගේ ඡායාරූප අතර තිබෙන තමාගේ ඡායාරූපය දෙසද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අවධානය යොමු කළේය.
ඒ අවස්ථාවේදී විවාදයට එක්වෙමින් සිටියේ ඒකාබද්ධ විපක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කාංචන විජේසේකර මහතාය.

දහවල් 12.30ට පමණ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දිවා ආහාරය ලබා ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් සමඟ පැමිණියේ මන්ත්‍රිවරුන්ගේ භෝජනාගාරය වෙතය.
මෙම පිරිස සමඟ දිවා ආහාරය ලබාගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඔවුන් සමඟ ඉදිරි පළාත් පාලන මැතිවරණය සහ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට අමතක කළේ නැත.
මේ අවස්ථාවේදී තවත් ස්ථානයක ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා දිවා ආහාරය ලබාගනිමින් සිටියහ.
එම අමාත්‍යවරුන් දෙදෙනා දිවා ආහාරය ලබාගැනීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දිවා ආහාරය ලබාගනිමින් සිටින ස්ථානයට පැමිණ අසුන්ගෙන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ දීර්ඝ වේලාවක් සාකච්ඡා කළහ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයා මෙසේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ කතාබස් කිරීම මන්ත්‍රි භෝජනාගාරයේ සිටි බොහෝ දෙනකුගේ අවධානයට ලක්විය.
බොහෝ දෙනකු සිතුවේ ඉදිරි පළාත් පාලන මැතිවරණය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමඟිය, වර්තමාැන දේශපාලනය පිළිබඳව මෙම කතා බහේදී මාතෘකා වෙන්නට ඇත කියාය. නමුත් මෙහිදී සාකච්ඡා කළේ එම කරුණු නොවේ. මෙහිදී කතාබහ කළේ පැරැණි රසාංගය. පැරැණි මැතිවරණවලදී ඇතිවූ අත්දැකීම් ගැන කතා වූයේ ඇතැම් සිද්ධි ආවර්ජනය කරමින් මහ හයියෙන් සිනාසෙමින්ය.

මුල්ගිරිගල අතුරු මැතිවරණයේ අත්දැකීම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විස්තර කළේය. සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාත් අනුර ප්‍රියදර්ශන යාපා අමාත්‍යවරයාත් අතීත මැතිවරණවලදී ඔවුහු මුහුණ දුන් අත්දැකීම් විස්තර කළහ.
මෙම අත්දැකීම්වල තිබුණු කටුක හා රසවත් බව මතක් කරමින් සැහැල්ලුවෙන් බොහෝ වේලාවක් මෙම කතාබහ සිදුවිය. දහවල් 1ට පමණ ආරම්භ වුණු මෙම කතාබහ අවසන් වූයේ දහවල් 2.15ට පමණය.

මෙම කතාබහ අතරතුර රවුෆ් හකීම්, සුසන්ත පුංචිනිලමේ, ටී. බී. ඒකනායක යන මැති ඇමැතිවරුද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ සුහද ලෙස කතාබස් කළහ. දිවා ආහාරය ලබාගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සංකීර්ණයෙන් පිටතට යෑම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණියේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් සමඟය. ඒ එන අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මුණගැසුණි. ඒ සමඟම එක්සත් ජාතික පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කුමාරි විජේරත්න මහත්මියද හමුවිය. ඔවුන් දෙදෙනාටම සිනහවකින් සංග්‍රහ කළ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විදුලි සෝපනය අසලට පැමිණියේය.
විදුලි සෝපානයෙන් එළියට පැමිණියේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියයි.

චන්ද්‍රාණි බණ්ඩාර අමාත්‍යවරියට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා කළ විහිළුවකට සියල්ලෝම මහ හයියෙන් සිනහසුණහ.
පාර්ලිමේන්තුව ඊයේ දිවා ආහාරය සඳහා කල්තැබූ අවස්ථාවේදී දිවා භෝජනය ලබාගැනීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැමිණියේ දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් කිහිපදෙනකු සමඟය. ඔවුන් ඉදිරියට පැමිණියේ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතාය. විජිත හේරත් මන්ත්‍රිවරයාගේ අතින් අල්ලාගත් වජිර අබේවර්ධන අමාත්‍යවරයා මන්ත්‍රිවරයාගේ කරටද අතක් දාගත්තේය.
පාර්ලිමේන්තුවේදී ඊයේ දින විවාදයට එක්වූ ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ද මහතා විසින් චෝදනාවක් එල්ල කරන ලද්දේ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාටය.

දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ නව මැතිවරණ ක්‍රමය හේතුවෙන් පළාත් පාලන ආයතන කැඳ හැළියක් වීමට ඉඩ තිබෙන බවයි. පළාත් පාලන ආයතනවල සභිකයන් සංඛ්‍යාව වැඩිවීම ගැනද අමාත්‍යවරයා සිය අප්‍රසාදය පළකර සිටියේය.
"දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ඉන්නේ කැබිනට් එකේද..? එහෙමත් නැත්තම් අල්මාරියේද..? කියලා මං අහන්න කැමැතියි. දැන් මේ ක්‍රමයත් වැරැදිලු. මේවා ගැන කතා කරලා නෙවෙයිද මේවා සම්මත කරගත්තේ" යනුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඉන්දික අනුරුද්ධ මහතා ප්‍රකාශ කළේය.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාවත් නොකරපු වැරැද්දක් මේ යහපාලන ආණ්ඩුව විසින් සිදුකර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

"ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවලට දැන් පත්කරලා තියෙන්නේ ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ නියෝජිතයෝ. නමුත් මේ සඳහා පත්කළ යුත්තේ ජනතා ඡන්දයෙන් පත්වූ මන්ත්‍රිවරයෙක්. එම ආසනයේ නැත්නම් යාබද ආසනයෙන්වත් පත්කළ යුතුයි. මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ වැරැදි හුඟක් කළා. නමුත් මේ වැරැද්ද මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේදී සිදුවුණේ නැහැ.මේ දිනවල දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි කතාබහට ලක්වී තිබෙන ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක මහතා ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය.

මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ මහත්වරුන්ට බෙදෙන ආකාරයේ සිතියමක් රැගෙන පැමිණි වීරකුමාර දිසානායක මහතා ආලින්දයේදී හමුවූ මැති ඇමැතිවරුන්ට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මෙම සිතියම පෙන්වමින් තම මතවාදය ඉදිරිපත් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon