දේශපාලනඥයන් හා මාධ්‍යවේදීන් අතර ගැටුම අත්‍යවශ්‍යයි

  👤  3314 readers have read this article !
By mawbima 2017-12-07

රටක ජනමාධ්‍ය කුලුන කඩා වැටුණහොත් ඉන් ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් එල්ල වන බවත් රටක දේශපාලනඥයන් සහ ජනමාධ්‍යවේදීන් අතර ගැටුමක් තිබිය යුතු වන අතර එම ගැටුමින් එක් පාර්ශ්වයක් ජය ගතහොත් ඉන් ඇතිවන්නේද ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවැසුවේ පසුගියදා (4දා) ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැති ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙම අවස්ථාවට අතුරුදන් වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරියද පැමිණ සිටි අතර ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පිළිබඳව අදහස් දැක්වූ මංගල සමරවීර ඇමැතිවරයා පැවැසුවේ එක්නැලිගොඩ මහතාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් රජය මැදිහත්වී කටයුතු කරන බවත් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය යල්පැනගිය ආයතනයක් බවත්ය.
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් මාධ්‍යවේදීන්ට සම්බන්ධ ප්‍රශ්න පිළිබඳව ලියූ ලිපියක්ද මෙහිදී ජනමාධ්‍ය ඇමැතිවරයාට පිරිනැමීය.
එහිදී සමරවීර මහතා මෙසේද පැවැසීය.

වෘත්තියක විශ්වාසවන්ත භාවය පිළිබඳ ඇමෙරිකාවේ කළ සමීක්ෂණයක පහළම මට්ටමේ ඉන්නේ දේශපාලකයන්. ඊට උඩින් ඉන්නේ මාධ්‍යවේදීන්. ලංකාවත් මීට දෙවැනි නැහැ කියලයි මම හිතන්නේ. ශ්‍රී ලංකාවෙත් දේශපාලනඥයන් ගැන මතය ඉතාම පහළ මට්ටමකයි තියෙන්නේ. ඒ ඇයි කියලා මම දන්නවා. මම ඒක විග්‍රහ කරන්න යන්නේ නෑ. නමුත් මාධ්‍යවේදීන්ව මෙහෙම අඩු තැනකට වැටුණේ ඇයි කියන එක ප්‍රශ්නයක්. ප්‍රජාතන්ත්‍රවාදී රටක ජනමාධ්‍යවේදීන් කියන්නේ හතර වැනි ආණ්ඩුව. ජනමාධ්‍යවේදී කුලුන කඩා වැටුණොත් ප්‍රජාතන්ත්‍රවාදයට විශාල පහරක් එල්ල වෙන්න පුළුවන්.
දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන් අතර ගැටුමක් තිබිය යුතුයි.

එහෙම නොවුණොත් අපි දෙගොල්ලන්ටම හරියට රාජකාරි කරන්න බැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදයට හොඳ දෙයක්. ජනමාධ්‍යයි දේශපාලනඥයනුයි අතර ඇති සටනේදී එක් පාර්ශ්වයක් ජය ගත්තොත් ඒක ප්‍රජාතන්ත්‍රවාදයට පහරක්. එවැනි තත්ත්වයක් නිසා පසුගිය කාලේ අපිට මාධ්‍යවේදීන් අහිමි වුණ හැටි මතකයි. නමුත් පසුගිය අවුරුදු 2 1/2ක් තුළ ඒවා සමපාත කරගන්න අපිට පුළුවන් වුණා. නමුත් අඩුපාඩු තිබුණා. තොරතුරු දැන ගැනීමේ පනත අපි පාර්ලිමේන්තුවේ සම්මත කරලා මාධ්‍යවේදීන්ට රිසි සේ තම කටයුතු කරගෙන යන්න ඉඩ ලබලා දීලා තිබෙනවා.

4වැනිදා තිබුණු අගමැතිවරයා සහභාගි වූ උත්සවයකට කිසිම මාධ්‍ය ආයතන ප්‍රධානියෙක් ඇවිත් සිටියේ නැහැ. රජයේ මාධ්‍ය ආයතනවල අයත් ඇවිත් හිටියේ නැහැ. අතීතයේ ජනමාධ්‍ය භීෂණයක් ඇති කරපු අය යම් යම් මාධ්‍යවලට දැන් අරක් අරගෙන තිබෙනවා.
ආයෙමත් අවශ්‍ය ඒ භීෂණකාරී තත්ත්වය මේ රටේ ඇති කිරීමටද කියලා මම අහනවා.

ලංකාවෙන්ම ඡන්ද 2000ක්වත් ගන්න බැරි චීවරධාරීන් මේ රටේ නැවත ලේ ගංගා ඇති කරන්න හදන කොට බෝල අකුරුවලින් ඇතැම් පුවත්පත් සිරස්තල පළ කරනවා. සමහර මාධ්‍යවේදීන් ඔවුන්ව ජාතික වීරයන් කරන්න උත්සාහ කරනවා. හිටපු මාධ්‍ය ප්‍රධානී මහත්මයෙක් මට නපුසංකයා කියලා තියෙනවා. මගේ අම්මට බැනලා තියෙනවා. නමුත් එදා වගේ අද අපි විරුද්ධවාදීන්ට ගහන්නෙ නෑ. අපිටත් පැවැසීමට කරුණු තියෙන නිසා අපිට ගැහුවොත් අපිත් අපේ කරුණු දක්වනවා.
අනවශ්‍ය ගැටුම් ඇති කරගෙන ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට දැමිය යුතු නැහැ. වර්තමාන තත්ත්වය තුළ කිසිම වෙබ් අඩවියක් තහනම් කරන්න බැහැ. වාරණය කියන දෙය 21 වැනි ශත වර්ෂයට වලංගු නැහැ. නමුත් නීති සකස් කළ හැකියි.

වෙබ් අඩවිවල බොරු තොරතුරු ඇතුළත් කරන අයට අද ආණ්ඩු පෙරළන්නත් පුළුවන්. අද සැලසුම් සහගතව ජනතාව නොමඟ යැවීම් සිදු කරනවා. අපි දෙගොල්ලොම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නට එකතු විය යුතුයි. ඒ සඳහා සංවාදයක් අවශ්‍යයි. ඒ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන්.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon