මොරගහකන්ද - කළු ගඟ පිරෙද්දී ගම්මාන 24ක් සිතියමෙන් මැකෙයි

  👤  3484 readers have read this article !
By mawbima 2017-12-07

මාතලේ - හේවා පී. කරුණාරත්න

මොරගහකන්ද/ කළු ගඟ ජලාශ ජලයෙන් පිරී යෑමත් සමඟ පාරම්පරික ගම්මාන 24ක් ලංකා සිතියමෙන් මැකී යමින් තිබේ. මොරගහකන්ද/ කළු ගඟ ව්‍යාපෘතිය යටතේ මොරගහකන්ද සහ කළු ගඟ ජලාශවලට යටවීමෙන් මේ ගම්මාන ලංකා සිතියමෙන් මැකී යන බව මහවැලි අධිකාරිය කියයි.
මේ වනවිටත් නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන හයක් මුළුමනින්ම ජලයෙන් යටවී තිබේ. තවත් ගම්මාන 7ක් ජලයෙන් යටවෙමින් තිබෙන බවද වාර්තා වෙයි. කළු ගඟ ජලාශය යටතේ ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පාරම්පරික ගම්මාන 11ක්ද ජලාශයට යටවෙමින් තිබෙන බව මොරගහකන්ද/කළු ගඟ ව්‍යාපෘති සම්බන්ධීකාරක පී.ජී. දයානන්ද මහතා පවසයි.

නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් තලාගොඩ, කඹරව, ගල්පෝරුගොල්ල, මැදපිහිල්ල සහ ඇලගමුව ගම්මාන මුළුමනින්ම ජලයෙන් යටවී ඇති අතර කෝන්ගහවෙල, රජාවෙල සහ මාරගමුව ගම්මානවල අඩක් ජලයෙන් යටවෙමින් තිබෙන බවද දයානන්ද මහතා පැවැසීය.

මේ වන විට මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම මුහුදු මට්ටමේ සිට මීටර් 179.45ක් දක්වා ඉහළ නැඟ ඇති බවත් මීටර් 189ක් දක්වා ඉහළ යෑමේදී අපේක්ෂිත ගම්මාන සියල්ල ජලයෙන් යටවී ලංකා සිතියමෙන් මැකී යන බවත් දයානන්ද මහතා තවදුරටත් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon