“අඩුපාඩු නිසා ඉස්කෝලේ යන්න බෑ කියා දරුවන් අඬන කොට පියකු ලෙස දරාගන්න බැරි දුකක් ඇතිවෙනවා”

  👤  3446 readers have read this article !
By mawbima 2017-12-07

මම විවාහ වෙලා අවුරුදු 11 විතර වෙනවා. මම විවාහ වී සිටින්නේ බී. බී. සමන්ලතා (35) සමඟයි. අපිට දරුවන් තිදෙනකු ඉන්නවා. වැඩිමහල් දුවට අවුරුදු 11යි. ඊළඟට දුවයි පුතයි. ඔවුන් නිවුන් දරුවෝ. ඔවුන් සියලුදෙනා පාසල් යනවා. බිරියට තව දරුවකු ලැබෙන්න ඉන්නවා. අනේ මහත්තයෝ අපි මේ පුංචි පැලේ වේලක් හැර වේලක් කාලා හරි ජීවත්වෙන්නේ දහසකුත් එකක් ගැටලුත් එක්කයි. මම ඔවුන් පෝෂණය කරන්නේ කුලී වැඩ කරලයි. අසනීප වූ දිනට ඒ මුදලත් ගෙදරට ලැබෙන්නේ නෑ. අපිට වෙන කිසිම ආදායමක් නෑ. සමෘද්ධි සහනාධාරය පවා ලැබෙන්නේ නෑ" යැයි තමන් ගත කරන දුක්ඛිත ජීවිතය ගැන දේවහුව, බුලනවැව අංක 3/14 (පිටුපස නිවෙස) පදිංචි ඩී. ජී. පී. සමන් වීරකෝන් (36) යන අය අප සමඟ පැවැසුවේ කඳුළු පිරි දෙනෙතින් යුතුවය.

ඔහු මෙසේද පැවැසීය. "අපි ජීවත් වෙන්නේ එක් කාමරයකින් යුත් කුඩා ගෙයකයි. එහි වහලයේ ලී දිරලා, වහලය වසා ඇති තහඩු හිල් වෙලා වැස්සට තෙමෙනවා. බිත්ති පුපුරලා, ආර්ථික දුෂ්කරතා නිසා බිත්ති බැඳලා තිබෙන්නේ මැට්ටෙන්. කොයි වෙලාවේ කඩා වැටෙයිද දන්නේ නෑ. කුලියක් නොලැබෙන දිනවලට නිවෙසක් ඉදිකිරීමේ හීන දකිමින් අපි දෙන්නා ගඩොල් කපනවා. බිරිය අසනීප තත්ත්වයෙන් හිටියත් පහළ ඇළකින් හිසෙන්ම ගෙට අවශ්‍ය වැලි ගොඩ දමනවා. නිවෙසේ අත්තිවාරම දමන්න ගත් රුපියල් 50,000 ණය මුදල තවමත් ගෙවනවා. නිවෙසට අත්තිවාරම දමා ඇති නිසා කවදාහරි කාමරයක් දෙකක් අටවාගෙන පොඩි උන් සමඟ ඒකට යන්නටයි අපේ සිහිනය."

"ලොකු දුව මෙවර ශිෂ්‍යත්වයට පෙනී සිටියත් ඇයට ලබා ගත හැකි වූයේ ලකුණු 120යි. උපකාරක පන්ති යැවීමට සල්ලි නැති නිසා ඇයට ඒ විභාගය ජයගන්නට බැරිවෙන්න ඇති. සමහර දවස්වල දරුවන් පාසල් උපකරණවල අඩුපාඩු නිසා ඉස්කෝලේ යන්න බෑ කියා අඬන කොට පියකු ලෙස දරාගන්න බැරි දුකක් ඇති වෙනවා. කොහොමහරි අපේ එකම බලාපොරොත්තුව පොඩි උන්ගේ ඇස් දෙක පාදා හොඳ පුරවැසියන් බවට පත් කිරීමටයි. ඒ සඳහා කවුරුහරි කවර හෝ උපකාරයක් කරනවා නම් ලොකු පිනක්" යැයි බලාපොරොත්තු සහගතව ඔහු පැවැසීය.

දහසකුත් එකක් බාධක මැද ජීවිතය ජය ගන්නට වෙර දරන මේ අසරණ පවුල වෙනුවෙන් ඔබටත් උපකාරයක් කළ හැකි නම් ඔවුන්ට හෙට දින සතුටු කඳුළු වගුරුවන්නට හැකි වනු ඇත.

මේ අතර මේ අසරණ පවුල පසුගිය දා සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කිරීමට ගලේවෙල ප්‍රාදේශීය ලේකම් එම්. යූ. නිශාන්ත මහතා වෙත පැමිණියේය. ඊට සවන් දුන් ප්‍රාදේශීය ලේකම්වරයා එම පියාට සමෘද්ධි සහනාධාරය ලබාදීමටත් ස්වයං රැකියාවක් කිරීම සඳහා අවශ්‍ය සම්පත් ලබාදීමටත් පියවර ගන්නා ලෙස සිය නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.
බිරියගේ ගිණුම් අංකය - 78085825 ලංකා බැංකුව ගලේවෙල දුරකතන අංකය - 0719044704.

මේ ප්‍රවෘත්තිය ලබාදීමට මඟපෙන්වූ මකුල්ගස්වැව ප්‍රාථමික විදුහලේ විදුහල්පති පාලිත තෙන්නකෝන් මහතා වෙත ස්තුතිවන්ත වෙමු. ඔහුගේ දුරකතන අංකය - 0726025277.
ගලේවෙල - තිලක් පල්ලේගෙදර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon