වෙඩි තිබ්බ තුවක්කුවත් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

  👤  3380 readers have read this article !
By mawbima 2017-12-07

ගල්ගමුවේ දළ පූට්ටුවා මරා දැමීමට යොදාගත් බවට සැක කරන විදේශීය රටක නිෂ්පාදනය කරන ලද බෝර 12 වර්ගයේ ගිනිඅවියක්ද උණ්ඩ දෙකක් සමඟ හිටපු හමුදා සෙබළකු හා ගව පට්ටි හිමිකරුවකු පෙරේදා (05දා) රාත්‍රි ගල්ගමුව පාළුකඩවලදී අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාර ඒකකය කියයි.
ඉකුත් 23දා හිටපු පොලිස් කොස්තාපල්වරයකු හා ග්‍රාම නිලධාරියකු මොරගොල්ලාගම නිකවැව ප්‍රදේශයේදී පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් ඇත් දළ යුගලක්, ගජමුතු හයක් සමඟ අත්අඩංගුවට ගැනීමත් සමඟ ගල්ගමුවේ දළ පූට්ටුවා මරා දමා ඇති බව මුලින්ම අනාවරණය විය.

ගල්ගමුවේ දළ පූට්ටුවාට වෙඩි තබා ඇත්තේ බෝර 12 වර්ගයේ ගිනිඅවියකින් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය විය.
පෙරේදා (05දා) ගජමුතු තුනක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් හෙළිවන තොරතුරු මත මේ ගිනිඅවිය හා උණ්ඩ දෙක සමඟ හිටපු හමුදා සෙබළා හා ගව පට්ටි හිමිකරු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් සැකකරුවන් දෙදෙනා රැඳී සිටි ගල්ගමුව පාළුකඩවල නිවෙස වටලන අවස්ථාවේ හමුදා සෙබළා සන්තකයේ ගිනිඅවිය හා එම උණ්ඩයක් හා ගවපට්ටි හිමිකරු සතුව එම උණ්ඩයක් තිබූ බවද පොලිසිය කියයි.
හිටපු හමුදා සෙබළා ගව පට්ටි හිමිකරුගේ ගව පට්ටියේ සේවකයකු ලෙස රැකියාව කරන බව පොලිසිය කියයි.
සැකකරුවන් සන්තකයේ තිබූ ගිනිඅවිය ලද ආකාරය පිළිබඳ සිදුකළ ප්‍රශ්න කිරීමේදී රුපියල් හතළිස් දහසක මිලකට පුද්ගලයකුගෙන් මිලදී ගත් බවට හෙළිවූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මරා දමන ලද දළ පූට්ටුවාගේ හිසෙහි හා උදරයේ තිබූ බෝර 12 උණ්ඩ අත්අඩංගුවට ගත් ගිනිඅවියෙන් නිකුත් වූ උණ්ඩ දැයි සැකහැර දැනගැනීම සඳහා ගිනිඅවිය රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට කටයුතු කරන බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

සැකකරුවන් දෙදෙනා ගිනිඅවිය හා උණ්ඩ සමඟ වැඩිදුර පරීක්ෂණ සඳහා ගල්ගමුව පොලිසිය වෙත භාරදීමට නියමිතය.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ හේමාල් ප්‍රශාන්ත මහතාගේ මෙහෙයවීමෙන් ස්ථානාධිපති රන්ජිත් රාජපක්ෂ, පොලිස් පරීක්ෂක අජිත් ශාන්ත, සැරයන් ප්‍රේමසිරි (15054), කොස්තාපල්වරුන් වන ජයලාල් (428), රංගන (38664), පත්මසිරි (2921), තේනුවර (30849), සදීප් ප්‍රබුද්ධ (71981), බණ්ඩාර (15931) මහත්වරු පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon