වයස 75 වෙන්න කලින් රටේ හැම උතුම් ස්ථානයකටම පයින්ම යන්න හිතන අලුත්වල ඇල්බට්

  👤  3122 readers have read this article !
By mawbima 2017-12-06

උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ වූ සිරිපා වන්දනා සමයේ ආරම්භක දිනයේදී (03 දින) සිරිපා නැමදීම පිණිස කිලෝමීටර් 274ක් උපන් ගමේ සිට පා ගමනින්ම කරුණා කළ බැතිමතුන් දෙදෙනකු (01දා) කිතුල්ගල ප්‍රදේශයෙන් ගමන් කරන විට අපට හමුවිය.

ඔවුන් පසුගිය 25 වැනි දින ගමන ආරම්භ කර තිබුණේ අම්බලන්ගොඩ අලුත්වල සිටය. ඒ වයස අවුරුදු 70ක් වන ඩී. ඇල්බට් සිල්වා හා වයස අවුරුදු 53ක් වන එස්.කේ. රූපසිංහ යන මේ දෙදෙනාය. අව් වැසි නොතකමින් පා ගමනින් ගමන් කරන ඔවුන් දෙදෙනා ගිමන් හැර තිබුණේ පන්සලක හෝ අම්බලමකය. එහෙත් ඔවුන්ගේ විඩාවක් නම් දකින්නට තිබුණේම නැත. ඉතා ශ්‍රද්ධාවෙන් භක්තියෙන් පාරේ දකුණු පසින් ගමනේ යෙදුණු මේ බැතිමතුන් දෙදෙනා අත සමන් දේව ප්‍රතිමාවක්, බෞද්ධ කොඩියක් විය. අම්බලන්ගොඩ, අලුත්වල, කන්දේ විහාරය, මතුගම, හොරණ, නෑබඩ හරහා පාදුක්කට පැමිණි ඔවුන්ගේ අධිෂ්ඨානය හංවැල්ල, අවිස්සාවේල්ල, කරවනැල්ල, යටියන්තොට, කිතුල්ගල, ලක්‍ෂපාන හරහා නෝටන්බි්‍රජ් ඔස්සේ නල්ලතන්නියට ගොස් සිරිපා මළුවට පිවිසීමය.

වියැකී යන ජීවිතයේ, ජීවත් වන කාලයට කළ හැකි දේ බොහෝ බව පසක් කරමින් නූතන පරපුරට ආදර්ශයක් ලබාදීමත් ඔවුන්ගේ වෑයමේ එක් අරමුණක් බව ඔවුහු සඳහන් කළහ.

මුනි සිරිපා කරුණා කරන මේ බැතිමතුන්ගේ වගතුග කීවේ නඩේ ගුරා වන ඇල්බට් මහතාය. 'මගේ වයස අවුරුදු 70ක් වෙනවා. අපි දැන් ජීවිතයෙන් බොහෝ දුරට අෑත් වෙමින් ඉන්නේ. මම තාමත් ගොවියෙක්. මගේ දරුවන්ට යුතුකම් ඉෂ්ට කළා. ආගමානුකූලව මම ජීවත් වෙන්නේ. ඒවායේ පිහිට අපිට තියෙනවා. පස්පව්වලින් අෑත්වෙලා ඉන්නෙ. හිත හරිම සැහැල්ලුයි. අවුරුදු 75 වෙන්න ඉස්සර රටේ හැම උතුම් ස්ථානයක්ම පයින් ගිහිල්ලා වන්දනා මාන කිරීම මගේ බලාපොරොත්තුව. මම හිතන්නෙ මේක රටට ආදර්ශයක් කියලා.

ඇල්බට් මහතා මේ වන විට අවස්ථා දෙකක් පා ගමනින් ගොස් සිරිපා වන්දනා කර ඇති බව පැවැසීය. ඒ වගේම පසුගිය පොසොන් දින කිලෝමීටර් 400ක් දුර ගෙවා මිහින්තලේ පා ගමනින් ගොස් වන්දනා කර ඇති බවද කතරගමද අටමස්ථානයද එසේ පා ගමනින් ගොස් වන්දනා කර ඇති බවද ඉදිරියේදී නාගදීපය පා ගමනින් ගොස් වන්දනා කිරීමට බලාපොරොත්තුව සිටින බවද හෙතෙම පැවැසුවේය.

කිතුල්ගල - තරින්ද රත්නායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon