කුඩාවැල්ලේ බැංකුවක ලොකු කොල්ලයක්

  👤  3074 readers have read this article !
By mawbima 2017-12-06

තංගල්ල කුඩාවැල්ලේ පිහිටි රාජ්‍ය බැංකුවකට නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු ඊයේ (05දා) උදෑසන කඩා වැදී එහි තිබූ මුදල් කොල්ලකා පලා ගොස් ඇත.
තුවක්කුකරුවන් දෙදෙනා මුහුණු ආවරණය කරගෙන යතුරුපැදියකින් පැමිණ උදෑසන 9.40ට පමණ බැංකුව කොල්ලකා ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. ඔවුන් ඒ අවස්ථාවේදී බැංකුවට පැමිණ සිටි ගනුදෙනුකරුවකුට වෙඩි තැබීමෙන් ඔහුගේ පාදයකට තුවාල සිදුවී ඇත. ඔහු ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

බැංකුව කොල්ලකන අවස්ථාව වනවිට එහි රුපියල් ලක්ෂ පනස්පහත් හැටත් අතර මුදල් ප්‍රමාණයක් මුදල් ගනුදෙනු කවුලු තුළ තිබී ඇත. මංකොල්ලකරුවන් විසින් ඔවුන් ගෙනා මලු දෙකක් තුළට මුදල් දමාගෙන ගොස් ඇති අතර රැගෙන ගොස් ඇති මුදල් ප්‍රමාණය මේ වනතුරු ගණන් බලා නොමැත.

බැංකුවේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරාවල දත්ත අඩංගු කොටස්ද කොල්ලකරුවන් දෙදෙනා රැගෙන ගොස් ඇත. ඔවුන් පැමිණියා යැයි සැකකරනු ලබන යතුරුපැදියේ අංක තහඩුව, මුහුණු ආවරණය කරගෙන පැමිණි රෙදි හා හිස් වැසුම්, කුඩාවැල්ල මහජන බැංකුවට කිලෝමීටර පහක් පමණ දුරින් පිහිටි බෝක්කුවක් යට තිබී පොලිස් නිලධාරීන් විසින් සොයා ගනු ලැබ ඇත.

තංගල්ල හා මාතර දිසා භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල්, තංගල්ල සහකාර පොලිස් අධිකාරි අතුල ද සිල්වා මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක ලලිත් හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංග රංගන මහතා හා පොලිස් අපරාධ ස්ථානීය පරීක්ෂණ ඒකකය ඇතුළු නිලධාරීන් විසින් මේ පිළිබඳව පරීක්ෂණ කටයුතු සිදුකරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon