ෆයිසර්ගේ නොහැකියාවට වන්දි ගෙවන්නේ ජනතාව

  👤  3016 readers have read this article !
By mawbima 2017-11-24

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාගේ නොහැකියාව හා වංකභාවය හේතුවෙන් වන්දි ගෙවීමට සිදුව තිබෙන්නේ රටේ ජනතාවට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

සීමා නිර්ණ ගැසට් පත්‍රයේ දෝෂ තිබේ නම් ඊට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ ඇමැති ෆයිසර් මුස්තාපා මහතා බවද ඔහු සඳහන් කෙළේය.
බොරැල්ල එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේ ඊයේ (23දා) පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ වසර දෙකහමාරකට පෙරයි. දිගින් දිගටම ආණ්ඩුව නොයෙක් හේතු ඉදිරිපත් කරමින් මැතිවරණය කල්දමා තිබෙනවා. අභියාචනාධිකරණය ඉදිරියේ නඩුව පැවැරුවේ පෙත්සම්කරුවන් 06 දෙනකු විසින්. අද වන විට මුළු රටම දන්නවා ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට සමීප පුද්ගලයන් බව. මේ අය උසාවියට ගියේ යම්කිසි පදනමක් මත. ඒ පදනම තමයි ඇමැති ෆයිසර් මුස්තාපා මහතා මේ වසරේ පෙබරවාරි 17 වැනිදා නිකුත් කළ ගැසට් පත්‍රය දෝෂ සහිතයි කියන එක. එම ගැසට් පත්‍රය හේතුවෙන් මැතිවරණය පැවැත්විය නොහැකි බවට තමයි මෙම පෙත්සම්කරුවන් හතර දෙනා අභියාචනාධිකරණයට ගියේ. එම ගැසට් පත්‍රයේ කිසියම් දෝෂයක් තිබුණා නම් එයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ ෆයිසර් මුස්තාපායි.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් පුල් මහතා පුවත්පතකට කියා තිබෙනවා අශෝක පීරිස් මහතා ප්‍රමුඛ සීමා නිර්ණ කමිටුව ඔවුන්ගේ වැඩකටයුතු ඉතාමත් ඉක්මනින් අවසන් නොකළ බව. එතුමා එම කමිටුවේ සාමාජිකයන්ගෙනුත් මේ ප්‍රමාදය පිළිබඳ විමසූ බවත් කියා තිබෙනවා. එවිට ෆයිසර් මුස්තාපා ඇමැතිවරයා මෙය කල් දමන්න උපදෙස් දුන් බවත් ඔහු කියා තිබෙනවා.

පරමාධිපත්‍යයේ අන්තර්ගත කොටසක් වන සර්ව ජන ඡන්ද බලය මේ රටේ ජනතාවට භාවිත කරන්න බැරි තත්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. ෆයිසර් මුස්තාපා ඇමැතිවරයාගේ නොහැකියාව සහ වංකභාවය නිසා. උප්පරවැට්ටි නොකළා නම් පළාත් සභා තුනක මැතිවරණ පැවැත්වෙනවා දෙසැම්බර් 09 වැනිදා. ඡන්ද කල් දමන්න 20 වැනි සංශෝධනය ගෙන ආවා. අප ඊට විරුද්ධව ශේ්‍රෂ්ඨාධිකරණයට ගියා. නමුත් සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුව ඊට කළේ කාන්තා නියෝජනය සම්බන්ධයෙන් පනතක් ඉදිරිපත් කිරීමයි.
මේ සම්බන්ධයෙන් කතානායක කරු ජයසූරිය මහතා කියනවා එතුමාට ලැජ්ජයි එදා පාර්ලිමේන්තුවේ සිදුවූ දේවල් පිළිබඳව කියලා. පාර්ලිමේන්තුවේ අධීක්‍ෂණ කමිටු තිබෙනවා. විනිවිදභාවයක් තිබෙන්න ඕන. මෙවැනි පනතක් ලහි ලහියේ සම්මත කරගත්තා. එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ලැජ්ජ වන බවත් නැවත වතාවක් එවැන්නක් සිදුවීමට ඉඩ නොදෙන බවත් එතුමා කියා තිබෙනවා. කතානායකවරයකුට මෙවැනි දෙයක් කියනවා තියා හීනෙන්වත් හිතන්න බැහැ.

රාජපක්‍ෂ පවුල ප්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය කැපී පෙනෙන මන්ත්‍රිවරුන් සැලසුම් සහගතව හිරභාරයට ගැනීමට සූදානම් වීම තමයි අද ඇස් පනාපිට පේන්න තියෙන්නේ. හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීමට එකම හේතුව තමයි එළිය කියලා සංවිධානයක් හදලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළු රටම ආවරණය වන පරිදි ජනතාව දැනුවත් කිරීම. මේ සියල්ලටම පාවිච්චි කරන යාන්ත්‍රණය තමයි එෆ්.සී.අයි.ඩී. එක. එය නීති විරෝධී යාන්ත්‍රණයක්.

පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද යාපා අබේවර්ධන මහතා,
අද වන විට අපේ පාර්ලිමේන්තුව වැටිලා තිබෙන්නේ ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකට. සුජීව සේනසිංහ නියෝජ්‍ය ඇමැතිවරයා පසුගිය දිනෙක ප්‍රකාශ කළා කතානායකවරයා පක්ෂග්‍රාහී බව. මේ ප්‍රකාශය අපි කළේ අවුරුදු තුනක් තිස්සේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයාත් එතුමා පක්ෂග්‍රාහී පුද්ගලයෙක් බව කියනවා නම් එතුමාගේ වගකීම සහ යුතුකම වන්නේ පාර්ලිමේන්තුවේ ගෞරවය තවදුරටත් නොකෙලසා ඉල්ලා අස්වීමයි. මොකද මේ රටේ ඉතිහාසයේ කිසිම කතානායකවරයෙක් මේ විදියේ චෝදනාවකට ලක්වුණේ නැහැ. පාර්ලිමේන්තුව ඇතුළේ. ගෞරවනීය පුද්ගලයන් හොබවපු මේ තනතුර මෙතරම් හෑල්ලු වෙලා, විවේචනයට පත් වෙලත් තවදුරටත් ඇයි මේ තනතුරේ ඉන්නේ කියලා අපි එතුමාගෙන් අහනවා.

ඉෂාරා සිල්වා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon