නාඋල ඉන්ධන පිරවුම්හලක භූමිතෙල් ගඳ වහනය වන පෙට්රල්

  👤  3026 readers have read this article !
By mawbima 2017-11-24

දඹුල්ල - කේ. කේ. ආරියදාස

පෙට්රල්වලට භූමිතෙල් කලවම් කොට නාඋල විවිධ සේවා සමුපකාර සමිතියට අයත් පිරවුම් හලකින් වාහනවලට ඉන්ධන නිකුත් කරන බව වාහන හිමියෝ පවසති.
වාහන හිමියන් නඟන චෝදනාව සත්‍යද අසත්‍යයක්ද යන්න සොයා බැලීම සඳහා පෙරේදා (22දා) රාත්‍රි අප එම ඉන්ධන පිරවුම්හල අසල රැඳී සිටියෙමු.
එහිදී තරුණයකු බෝතලයකට පෙට්රල් ලබාගැනීමේදී රතු පැහැති වර්ණයක් පෙට්රල්වලින් දර්ශනය වන බවත් එම පෙට්රල්වල භූමිතෙල් ගඳ වහනය වන බවත් එම තරුණයා කීවේය.

එම තරුණයා නඟන චෝදනාව පිළිබඳව ඉන්ධන පිරවුම්හලට ඒ වනවිට පැමිණ සිටි විවිධ සේවා සමුපකාර සමිතියේ සාමාන්‍යාධිකාරිවරයා යැයි කියාගන්නා පුද්ගලයාගෙන් අප මේ පිළිබඳව විමසීමක් කළෙමු.

ඔහු කියා සිටියේ තමන්ට එවැනි තොරතුරක් ලැබී පරීක්ෂා කළ බවත් එහෙත් පෙට්රල්වල භූමිතෙල් ඇතැයි තමන්ට ප්‍රකාශ කිරීමට නොහැකි බවත්ය. අප ඒ මහතාගෙන් දිගටම ප්‍රශ්න කිරීමට යද්දී තවත් පුද්ගලයකු ඉදිරිපත්වී කියා සිටියේ තමන් ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු බවය. ඔහු මෙම සිද්ධිය වසන් කිරීම සඳහා විවිධ චෝදනා නඟන්නට විය. භූමිතෙල් කලවම් වී වාහන නවතා ඇත්නම් ඒවා පෙන්වන්නැයි ඔහු ජනතාවට කියන්නට විය. මෙම ඉන්ධන, සංස්ථාවෙන් ලබාදෙන ඒවා බවත් බවුසර් රථයෙන් බාපු ගමන් පැට්රල් වල ලබාගත් සාම්පල් බෝතලය පවා තිබෙන බවත් භූමිතෙල් ගඳ වහනය වන පෙට්රල් ලබාදෙන්නේ ඇයිදැයි ජනතාව ඇසිය යුත්තේ ඉන්ධන පිරවුම්හල්වලින් නොව සංස්ථාවෙන් බවත් කළමනාකාරවරයා වැඩිදුරටත් පැවැසීය.

ඉන්ධන පිරවුම්හලට පැමිණි බොහෝ දෙනකු කියා සිටියේ පෙට්රල්වල වර්ණය වෙනස් වී ඇති බවත් විශාල වශයෙන් පෙට්රල්වලින් භූමිතෙල් ගඳ වහනය වන බවත්ය. එවැනි තත්ත්වයක් පැවති ඒ අවස්ථාවේදී ඉන්ධන පිරවුම්හලට පැමිණි වාහනවලට මෙම ඉන්ධන නිකුත් කරන අයුරු දැක ගැනීමට හැකිවිය.

මේ සිද්ධියත් සමඟ එම ස්ථානයට නාවුල පොලිස් ස්ථානයේ කණ්ඩායමක්ද පැමිණියහ. එහි සිටි ඉන්ධන පාරිභෝගිකයෝ මේ බව පොලිස් නිලධාරීන්ට පැමිණිලි කරන්නට වූහ. එමෙන්ම එම ස්ථානයේ සිටි ත්‍රිරෝද රථ රියැදුරකු තවත් බෝතලයක් ගෙන නාඋල නගරයේම පිහිටි තවත් ඉන්ධන පිරවුම් හලකින් පෙට්රල් බෝතලයක් රැගෙනවිත් පොලිසියට මෙන්ම විවිධ සේවා සමුපකාර සමිතියේ ඉන්ධන පිරවුම්හල් කළමනාකාරවරයාට පෙන්වූයේය. එම බෝතල් දෙකේ පෙට්රල්වල වර්ණය සුදු පැහැති සහ රතු පැහැති වීම විශේෂත්වයකි. එමෙන්ම මෙම ඉන්ධන පිරවුම්හලෙන් ලබාගත් රතු පැහැති පෙට්රල් බෝතලෙන් භූමිතෙල් ගඳ වහනය විය. අනෙක් බෝතලේ ඇති පෙට්රල් සුදු පැහැ ගැන්වී පෙට්රල් ගඳ වහනය විය.

නාඋල පොලිසියේ නිලධාරීන් රතු පැහැති ඉන්ධන සිය නහයට ළං කොට කියා සිටියේ ඉන් භූමිතෙල් ගඳ වහනය වන බවයි.
ත්‍රිරෝද රථවලට පෙට්රල් ලබාගත් බොහෝ දෙනකු මෙම සිද්ධිය දැන ගැනීමත් සමඟ තම ධාවන ටැංකියට යොදා ගත් ඉන්ධන එම ස්ථානයේ සිටම පිටතට ගන්නා අයුරු දක්නට ලැබිණි. මෙම ඉන්ධන පිරවුම්හලට පැමිණි නාඋල පොලිසියේ නිලධාරීන් පිරවුම්හලේ කළමනාකරුට උපදෙස් දුන්නේ තාවකාලිකව පෙට්රල් නිකුත් කිරීම නවතා මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙසය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon