පදවියේ වනජීවී ඉඩම්වල පදිංචි ජනතාවට සහන ලබා දෙන්න

  👤  3030 readers have read this article !
By mawbima 2017-11-24

උතුරු මැද පළාතට අයත් පදවිය ප්‍රදේශයේ ජීවත් වන ජනතාව අතුරින් වනජීවී කලාපයේ පදිංචි වී සිටින පවුල් 200කගේ පමණ පවතින ඉඩම් ගැටලු සඳහා ගත හැකි සහන ක්‍රියාමාර්ග පිළිබඳ වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ ඉඩම් ඇමැති ගයන්ත කරුණාතිලක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ පැවැත්විණි.

පදවිය නගරයේ යම් යම් ස්ථාන මෙන්ම රජයේ රෝහල පවා වනජීවී දෙපාර්තමේන්තුවට අයත් භූමියක් බවද මේ සාකච්ඡාවේදී හඳුනාගෙන තිබේ.
ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පසුගියදා පදවිය ප්‍රදේශයේදී සහභාගි වූ රූපවාහිනි වැඩසටහනකදී පදවිය ප්‍රදේශයේ ජනතාව ඉදිරිපත් කළ ප්‍රශ්නයට විසඳුම් ලබා දීම වෙනුවෙන් මේ සාකච්ඡාව කැඳවා තිබිණි.

පදවිය ප්‍රදේශයේ වනජීවී ප්‍රදේශ ආශි්‍රතව ජීවත් වන පවුල් ගණනාවකටම දීමනා බලපත්‍ර හිමි බවත්, තවත් පිරිසක් අනවසරව භුක්ති විඳින බවත් මේ සාකච්ඡාවේදී හෙළි විය. මේ ජනතාවට සහනයක් ලබාදීම වෙනුවෙන් ඉදිරි කාලයේදී ඉඩම් අමාත්‍යාංශය, වනජීවී අමාත්‍යාංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා පදවිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය නියෝජනය වන අයුරින් කමිටුවක් පත් කිරීමටත්, එම කමිටුව මඟින් පදවිය ප්‍රදේශයේ එම ඉඩම් ගැටලු සඳහා විසඳුම් ලබාදීම වෙනුවෙන් පූර්ණ

සමීක්ෂණයක් සිදුකර එම ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැකි ක්‍රමවේදයක් සකසන ලෙසද ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මේ විශේෂ සාකච්ඡාව වෙනුවෙන් ඉඩම් කොමසාරිස් ජනරාල් චන්ද්‍රා හේරත් මහත්මිය, අතිරේක ලේකම් (ඉඩම්) දයාරත්න, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ල මහතා, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහත්වරු ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon