අනාරක්ෂිත ළිඳ සිවු හැවිරිදි දරුවාට මරු කැඳවයි

  👤  3092 readers have read this article !
By mawbima 2017-11-24

මඩාටුගම - ප්‍රසංග ඒකනායක

කැකිරාව තිබ්බටුවැව ඔලොම්බෑව පාර ප්‍රදේශයේ ගෙවත්තක පිහිටි අනාරක්ෂිත ළිඳකට වැටීමෙන් සිවු හැවිරිදි දරුවකු මියගොස් තිබේ. ඉකුත් 21 වැනිදා පස්වරුවේ සිදුවූ මේ අවාසනාවන්ත මරණයට ගොදුරුව ඇත්තේ කැකිරාව තිබ්බටුවැව ඔලොම්බෑව පාර ප්‍රදේශයේ පදිංචි දරු දෙදෙනකුගෙන් යුතු පවුලක වැඩිමහල් දරුවා වන එස්. දුසියන්දන් නමැති දරුවෙකි. ඔහුගේ බාල සොහොයුරිය මාස 04ක බිලිඳියකි. මියගිය දුසියන්දන් දරුවා පදිංචිව සිටි නිවෙසට අඩි කිහිපයක් දුරින් එම අනාරක්ෂිත ළිඳ පිහිටා තිබේ. අඩි 6ක් පමණ ගැඹුරැති එම ළිඳෙහි ජල මට්ටම අඩි 5ක් පමණ තිබී ඇත. අනතුර සිදුවන අවස්ථාවේ නිවෙසේ සිට ඇත්තේ එම දරු දෙදෙනාත් මවත් පමණි.

මවත් දුසියන්දන් දරුවාත් නිවෙසේ තනිව සිටි අවස්ථාවේ දුසියන්දන්ගේ මව බාල දරුවාගේ කටයුතුවල නිරතවෙමින් සිටි අතරතුරදී දුසියන්දන් නිවෙසට යාබදව තිබූ අනාරක්ෂිත ළිඳ අසලට ගොස් ඇති බවත් එම අවස්ථාවේ දරුවා අනාරක්ෂිත ළිඳට වැටී ඇති බවත් පරීක්ෂණවලදී හෙළිව ඇතැයි පොලිසිය කියයි. තම බාල දරුවාගේ කටයුතු නිම කර දුසියන්දන් ගැන සෝදිසි කර බැලූ අවස්ථාවේ දරුවා පෙනෙන මානයේ නොවූයෙන් මව ඒ බව කඩිනමින් අසල්වාසීන්ට දැනුම් දීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව අසල්වාසීන් එක්ව කළ සොයා බැලීමකදී දුසියන්දන් දරුවා නිවෙස ආසන්නයේ වූ අනාරක්ෂිත ළිඳට වැටී සිටිනු දැක තිබේ. කඩිනමින් දරුවා ළිඳෙන් ගොඩ ගෙන ප්‍රතිකාර සඳහා කැකිරාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට අසල්වාසීන් කටයුතු කර ඇතත් දරුවා රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

මියගිය දරුවාගේ මරණය සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරීක්ෂණය පැවැත්වූ කැකිරාව හදිසි මරණ පරීක්ෂක
ආර්.ඒ.ටී.ඒ. මැදගම මහතාගේ නියෝග අනුව එම දරුවාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කිරීමට කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් කටයුතු කර තිබිණි. මරණය දියේ ගිලීමෙන් සිදුවූවක් බවට මරණ පිරීක්ෂණයේදී නිගමනය වී තිබිණි.

කැකිරාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එම්.ටී.බී. ගනේගොඩ මහතාගේ උපදෙස් අනුව පො.සැ. දිසානායක (52336) මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර තිබිණි.

අවාසනාවන්ත ලෙස මියගිය දුසියන්දන් දරුවාගේ අවසන් කටයුතු ඊයේ (23දා) කැකිරාවේදී සිදු කෙරිණි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon