කුවේටයේදී ගෙල වැලලාගෙන මියගිය බව කියන රියැදුරාගේ මිහිදන් කළ දේහය ගොඩගනී

  👤  3094 readers have read this article !
By mawbima 2017-11-24

කෑගල්ල හරිගල පදිංචිව සිටි කුවේට් රාජ්‍යයේ පෞද්ගලික ආයතනයක රියැදුරු රැකියාවක් කරමින් සිටියදී ගෙල වැලලාගෙන මිය ගියේ යැයි කියන පුද්ගලයාගේ මළ සිරුර පෙරේදා (22දා) සවස කෑගල්ල මහෙස්ත්‍රාත් ගිහාන් මීගහගේ මහතා ඉදිරියේ යළි ගොඩ ගැනිණි.

මෙලෙස ගොඩගනු ලැබුවේ පින්දෙණිය පොලිස් වසමේ අටාල හරිගල පදිංචිව සිටි උපාලි ඉලංගරත්න නමැති 52 හැවිරිදි විවාහක පුද්ගලයෙකි. ගෙල වැලලාගෙන මියගියේ යැයි කියන රියැදුරුවරයාගේ මිතුරන් දෙදෙනකු විසින් සහ බිරිය විසින් 2017 ජුනි 1දා රියැදුරුවරයාගේ වැඩිමහල් එකම සහෝදරිය වන හරිගල පදිංචි චන්ද්‍රානි සෝමලතා මහත්මියට මේ බව දුරකතනයෙන් දන්වා තිබිණි. පසුව මෘත දේහය ලංකාවට ගුවන් මඟින් ප්‍රවාහනය කර ඔහු විසින් අලුතින් ඉදිකර තිබූ හරිගල තෙමහල් නිවෙසට ගෙන එනු ලැබිණි. පසුව මෘත දේහය ආගමික වතාවත් සිදු කොට නිවෙසට පහළින් ඉඩමේ මිහිදන් කෙරිණි.

ගෙල වැලලාගෙන මියගියේ යැයි කියන රියැදුරු
පළමු වරට 2009 වර්ෂයේදී කුවේට් රාජ්‍යයේ රැකියාවට ගොස් වසර 4කට ආසන්න කාලයක් එහි සේවය කොට යළි 2013 වර්ෂයේ ලංකාවට පැමිණියේ කුවේට් රාජ්‍යයේ රැකියාවක් කරන ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි මනාලියක්ද හඳුනාගෙනය.

රියැදුරුවරයා
පළමුව ලංකාවට පැමිණ සිය නව නිවෙසේ අලුත්වැඩියා කටයුතු කොටසක් සිදුකරන අතරතුර මනාලියද ලංකාවට පැමිණ ඇත්තේ විවාහ වීමට දින කිහිපයකට පෙරය. 2013 ඔක්තෝබර් මස 25දා අටාල ප්‍රදේශයේ විවාහ රෙජිස්ට්‍රාර්වරියක ඉදිරියේ මෙම නව යුවළ විවාහ වී දින කිහිපයකට පසු යළි මනාලිය නැවත කුවේට් රාජ්‍ය බලා ගියාය.
මනාලිය කුවේටයට යෑමෙන් පසුව සිය මනාලයාව වසරකට පමණ පසු කලෙකදී බි්‍රතාන්‍ය යුවළකගේ කාර් රථයක රියැදුරුවරයා ලෙස සේවය කිරීමට ගෙන්වා ගත්තාය.

දෙදෙනාම රැකියා කටයුතු සිදුකරමින් සිටියදී තමා විවාහ වී ඇත්තේ දරුවන් තිදෙනකු සිටින කාන්තාවක සමඟ බව මෙම රියැදුරුවරයාට වැටහී ඇත. විවාහක කාන්තාවක් තමා විවාහ කරගෙන ඇති බවට දැනගත් පසු රියැදුරු වහාම ලංකාවට පැමිණීමට කටයුතු කළද ඇය එය කිහිප අවස්ථාවකදීම වළකා දමා ඇත. පසුව ඇය ගල්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටින විවාහක සැමියාවද ඒ අතරවාරයේ කුවේට් රටට ගෙන ගොස් ඇති අතර එසේ සිටියදී තිදෙනා අතර යම් යම් ප්‍රශ්න පැන නැඟුණි. ඉන් අනතුරුව සිදුවූ සියල්ල රියැදුරා තම වැඩිමහල් සහෝදරියට දන්වා තිබුණු අතර අවසන් වතාවට 2017 මැයි මස 30දා ප්‍රකාශ කර ඇත්තේ "අක්කේ මගේ මවුපියන් දෙන්නා හොඳින් රැකබලා ගන්න. මුන් මගේ දේපළ නිසා මට ඉන්න දෙන්නේ නැහැ" යැයි පමණක් දැන්වීමෙන් පසු දුරකතනය විසන්ධි වූ බවත් වැඩිමහල් සහෝදරිය වූ චන්ද්‍රානි සෝමලතා වැඩිදුරටත් පැවැසුවාය.

පසුව රියැදුරුවරයා ඇසුරු කළ හිතවත් තරුණයන් දෙදෙනකු විසින් දින කිහිපයකට පසු රියැදුරු ගෙල වැලලාගෙන ඇති බව වැඩිමහල් සහෝදරියට දන්වා තිබිණි. පසුව 2017 ජුනි මස 6දා බිරිය සමඟ මෘත දේහය ලංකාවට රැගෙන ආ අතර 7දා මිහිදන් කෙරිණි. තම සහෝදරයාට ගෙල වැලලාගෙන මිය යන්නට තරම් හේතුවක් නොතිබුණු බවත් මරණය සැක සහිත බවත් දන්වමින් ඥාතීන් විසින් පින්දෙණිය පොලිසියට 2017.07.22දා පැමිණිල්ලක්ද කර තිබිණි. ඒ අනුව පෙරේදා (22දා) සවස කෑගල්ල මහෙස්ත්‍රාත් ගිහාන් මීගහගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හා කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රමේෂ් අලගියවන්න මහතාගේ මූලිකත්වයෙන් යළි මෘත දේහය ගොඩගැනිණි. මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (23දා) කෑගල්ල මහ රෝහලේදී සිදු කෙරුණු අතර එහිදී විවෘත තීන්දුවක්ද ප්‍රකාශයට පත් කෙරිණි. පසුව ඥාතීන් මෘත දේහය යළි මිහිදන් කිරීම සඳහා රෝහලෙන් රැගෙන යන අයුරු දක්නට ලැබිණි.

දමුණුපොළ - චමින්ද ජයලත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon