සිවු හැවිරිදි දියණියකට අක්මාවක් බද්ධ කරන්න හැකිනම් උපකාරයක් වන්න

  👤  3052 readers have read this article !
By mawbima 2017-11-24

මාකඳුර - අජිත් ලංකාතිලක, අකුරැස්ස - එස්. රණවීර

අකුරැස්ස, පානදුගම, මිටිගෙවවත්තහි පදිංචි සිවු හැවිරිදි කේ. වතීෂා මෙත්සරණි දියණිය මේ වන විට අක්මාව නරක්වීමේ රෝගයකින් පෙළේ.
දරුවන් දෙදෙනකුගෙන් යුත් මේ පවුලේ බාලම දරුවා වන්නේ වතීෂාය.

නිතර නිතර උණ ගැනුණු බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර සඳහා වෛද්‍යවරු වෙත යොමු කිරීමෙන් පසු වයස මාස 2දී පමණ මේ රෝගය වැලඳී ඇති බව සොයාගෙන ඇති අතර ඉන් පසු දරුවා මේ වන තුරු වැඩි කාලයක් කරාපිටිය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබාගත් බවත් මවුපියෝ පවසති.

මේ රෝගී දරුවා ඉන්දියාවෙන් මෙරටට පැමිණි විශේෂඥ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කළ පසු දැරියගේ අක්මාව නරක් වී ඇති බවත් ඉන්දියාවේ චෙන්නායි ප්‍රදේශයේ පිහිටි රෝහලට දරුවා රැගෙන ගොස් අක්මා බද්ධ කිරීම හැකි ඉක්මනින් සිදු කළ යුතු බවත් සැත්කමට පමණක් මෙරට මුදලින් ලක්ෂ 60-70ත් අතර මුදලක් වැය වන බවත් ඔවුහු පවසති.

මේ වන විට වතීෂාගේ උදරය ඉතා විශාලව පවතින්නේ ඇයගේ ජීවිතය ඉතා අවදානම් සහිත බව කියාපාමිනි.
වතීෂා දියණියේ පියා වන තරංග මධුසංක වසර 14කට වැඩි කලක සිට ශ්‍රී ලංකා යුද හමුදාවට අනුයුක්තව දැනට යාපනය ප්‍රදේශයේ සේවය කරන්නෙකි.
වතීෂාගේ පියා වන තරංග මදුසංක (33) තම දියණියගේ රෝගී තත්ත්වය පිළිබඳව මෙසේ පැවැසීය.
මගේ කුඩා දියණියට වයස අවුරුදු 4ක් වෙනවා. ඇය මෙලොව එළිය දැකලා මාස දෙකක් පමණ වෙද්දී තමයි අපි දැනගත්තේ මෙයාට අක්මාව නරක් වීමේ ලෙඩක් තියෙනවා කියලා.

ඒ නිසා දැනට අවුරුදු 4ක් තිස්සේ මේ දරුවාට බෙහෙත් කරනවා. ඒත් සුව වුණේ නැහැ. කරාපිටියේ රෝහලෙන් කිව්වා දුවට අක්මාවක් බද්ධ කරන්න ඕන කියලා. ඊට පස්සේ අපි ඉන්දියාවෙන් මෙරටට ආපු ඩොක්ටර් කෙනකුට දුවව පෙන්නුවා.

ඒ ඩොක්ටර්ගේ නිර්දේශයන්ට අනුව දරුවට අක්මාවක් බද්ධ කිරීමේ සැත්කමක් ඉන්දියාවේ චෙන්නායිහි රෝහලකදී කරන්න ඊට අපේ රටේ මුදලින් ලක්ෂ 80ක පමණ මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා.

මම දැනට වසර 14කට වැඩි කාලයක් ශ්‍රී ලංකා යුද හමුදා සේවයේ නිරත වෙනවා. මා එයිනුත් මේ අවස්ථාවේ උපකාරයක් බලාපොරොත්තුව සිටිනවා.
ඒත් මේ තරම් විශාල මුදලක් අපිට හොයාගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි ඔයාලගෙන් ඉල්ලන්නේ පුළුවන්නම් අපිට දරුවාගේ ජීවිතය බේරගන්න හැකි උපකාරයක් කරන්න කියලයි.

සිය දියණියගේ රෝගී තත්ත්වය හේතුවෙන් දුක් වන වතිෂාගේ මව වන යූ. කේ. මල්කාන්ති (33) මහත්මිය
අපේ දරුවා ඉපදෙන කොට නියමිත බර ඇතිව නිරෝගීව සිටියා. ඒත් වයස මාස 2දී වගේ නිතර නිතර උණ ගැනෙන්න ගත්තා. කරාපිටියේ රෝහලෙන් ප්‍රතිකාර කරන කොට තමයි එහි වෛද්‍යවරු සොයාගත්තේ දරුවාගේ අක්මාව නරක් වෙන රෝගයකින් පෙළෙන බව.

මේ තත්ත්වය කලින් හොය ගන්න පුළුවන් වුණා නම් මේ රටේදීම සනීප කරන්න පුළුවන් කියලා තමයි වෛද්‍යවරු කීවේ. ඒත් දැන් ඒක නරක අතට හැරිලා. ඉන්දියාවෙන් ආපු වෛද්‍යවරයකුට දරුවා පෙන්නලා ගොඩක් දවස් වෙනවා. පුළුවන් ඉක්මනින් සැත්කම කරන්න කියලා තමයි එයා අපිට කීවේ. ඒත් ඒකට වියදම් කරන්න තරම් මුදලක් අපිට නැහැ.

දරුවාගේ අසනීපේ නිසා වැඩි කාලයක් අපි හිටියේ කරාපිටියේ රෝහලේ. මහත්තයා හමුදාවේ සේවය කරලා ලැබෙන වැටුපෙන් දුවගේ බෙහෙත් වලටයි වැඩිමහල් දරුවාගේ අධ්‍යාපන කටයුතුවලටයි පවුලේ අයගේ ආහාරපානවලටයි වියදම් කළාම ඉතිරි වෙන්න දෙයක් නැහැ.

මගේ අක්මාවේ කොටසක් දරුවට බද්ධ කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ වෙනකොට දරුවාගේ උදරය ගොඩක් ඉදිමිලා. එයාට මේ වෙනකොට නැඟිටලා ඉන්නත් බැහැ.

මේ අපි පත්වෙලා ඉන්න තත්ත්වය බලලා මේ වෙලාවේ උදවු කරන්න කියලා තමයි හැම දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ.
වතීෂාගේ මවුපියන් තම කුඩා දියණියගේ ජීවිතය බේරා දීමට උදවු කරන මෙන් ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ මේ මොහොතේ අන් කිසිවක් පිහිටට නොමැති බැවිනි.

වතීෂාගේ නිවසේ දුරකතන අංකය - 071 - 3242633
ගිණුම් අංකය - 1-0055-77-04267
ගිණුම් හිමියාගේ නම - යූ. කේ. මල්කාන්ති
බැංකුව - ජාතික ඉතිරි කිරීමේ බැංකුව, අකුරැස්ස

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon