ජාතික ඔලිම්පික් කමිටු නිලවරණය කල් යයි! ව්‍යවස්ථාව යළිත් වෙනස් කරන්නැයි අයි.ඕ.සී. දන්වයි

  👤  3623 readers have read this article !
By mawbima 2017-11-23

සිරිනාම රාජපක්ෂ

ජාතික ඔලිම්පික් කමිටුවේ (එන්.ඕ.සී.) නිලවරණය ලබන ජනවාරි මස 9දාට පවත්වන බවට පසුගියදා (නොවැම්බර් 9දා) පැවැති එන්.ඕ.සී. මහ සභා රැස්වීමකදී තීරණය කළද එදින සම්මත කරගත් එන්.ඕ.සී. ව්‍යවස්ථාවේ තවත් සංශෝධන කිහිපයක් සිදු කළ යුතු බවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (අයි.ඕ.සී.) විසින් පෙරේදා යළි දැනුම් දීමත් සමඟ නිලවරණය දින නියමයක් නැතිව කල් යන ලකුණු පහළ වී ඇතැයි 'මව්බිම'ට වාර්තා වේ.

එනම් පසුගිය 9දා පැවැති එන්.ඕ.සී. මහ සභා රැස්වීමේදී සම්මත කරගත් නව ව්‍යවස්ථාව අනුමැතිය සඳහා අයි.ඕ.සී. වෙත යැවීමෙන් පසුව අයි.ඕ.සී. බලධාරීන් විසින් පෙරේදා (21දා) සවස එන්.ඕ.සී.ය වෙත එවන ලද ලිපියක සඳහන් කර ඇත්තේ සම්මත කරගත් නව ව්‍යවස්ථාවේ වූ කරුණු 3ක් පිළිබඳව අවධානය යොමු කොට ඒවා සංශෝධනය විය යුතු බවයි. එන්.ඕ.සී. උප සභාපතිවරුන්ගේ සංඛ්‍යාව, නව ක්‍රීඩා සංගම් ලියාපදිංචි කිරීම සහ නිලවරණ කමිටුවේ සාමාජික සංඛ්‍යාව වෙනස් කිරීම යන කරුණු කෙරෙහි ජාත්‍යන්තර බලධාරීන් දරන්නේ වෙනස් මතයකි. ඒ අනුව උප සභාපතිවරුන්ගේ සංඛ්‍යාව හයේ සිට හතර දක්වා අඩු කරන ලෙසත් ඉල්ලුම් කර ඇති ක්‍රීඩා සංගම් සියල්ලටම (7ටම) සාමාජිකත්වය ලබාදෙන ලෙසත් සහ අදාළ නිලවරණ කමිටුවේ සාමාජික සංඛ්‍යාව දෙදෙනකු නොව තිදෙනකු ලෙස වැඩි කරන ලෙසත් එකී ලිපිය මඟින් දැනුම්දී ඇත.
එහෙත් පසුගිය මහ සභා රැස්වීමේදී ඉදිරිපත් වූ යෝජනා අතර උප සභාපති තනතුරු සංඛ්‍යාව හයේ සිට හතර දක්වා අඩු කිරීමටත් ලියාපදිංචිය සඳහා එදින ඉදිරිපත් කරන ලද ක්‍රීඩා සංගම් හතටම සාමාජිකත්වය ලබාදීමටත් බහුතරයකගේ අනුමැතිය නොලැබිණි. තවද නිලවරණ කමිටුව සඳහා එදින යෝජනා වූයේ දෙදෙනකුගේ නම් පමණි. එබැවින් අයි.ඕ.සී.ය විසින් කරන ලද නව දැන්වීමට අනුව යළිත් වතාවක් මහ සභා වාරයක් කැඳවා ව්‍යවස්ථාව වෙනස් කොට ඊට අනුමැතිය ලබාගත යුතු නිසා යොදාගත් පරිදි ජනවාරි 9දා නිලවරණය පැවැත්වීමේ ඉඩකඩ අල්ප වී ඇත.

එසේම පසුගිය මහ සභා රැස්වීම් දිනයේදී පොරොන්දු වූ පරිදි මීළඟ එන්.ඕ.සී. විධායක සභා රැස්වීම දින 14කින් එනම් මේ මස 23දා පැවැත්වීමටද නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව වාර්තා වේ. තවද ජනවාරි 9දා නිලවරණය පැවැත්වෙන්නේ නම් දෙසැම්බර් 26දා වන විට තම සාමාජිකත්වය වෙත විගණන ගිණුම් වාර්තා ඉදිරිපත් කළ යුතු වනවා සේම නිලවරණය පැවැත්වෙන දිනට මසකට කලින් හෝ නාම යෝජනා පිළිබඳව සාමාජිකත්වයට දැනුම්දිය යුතුය.

එහෙත් පවතින තත්ත්වය තුළ එවන් දින වකවානු අනුව අදාළ කටයුතු සම්පූර්ණ කිරීමට අසීරු කරුණක් බවද දැනගන්නට ඇත.
කෙසේ වෙතත් මෙසේ නිලවරණය කල් දමා ගැනීමේ අවශ්‍යතාවක් එන්.ඕ.සී. වත්මන් ලේකම්වරයාට පවතින බවත් මේ වන විට කල් දමා ඇති ජූඩෝ සංගම් නිලවරණය සඳහා වත්මන් ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාද සහකාර භාණ්ඩාගාරික තනතුර වෙනුවෙන් ඉදිරිපත් වී සිටීම ඊට හේතුව බවත් ක්ෂේත්‍රයේ කතාබහට ලක්වී ඇත. එළැඹෙන නිලවරණයේදී එන්.ඕ.සී. ලේකම් තනතුරට ඉදිරිපත් වීම සඳහා ක්‍රීඩා සංගමයක විධායක සභා සාමාජිකයකු විය යුතුය යන සුදුසුකම සිල්වා මහතාට නොමැති වීම නිසා ජූඩෝ සංගමයේ තනතුරක් ලබාගෙන එම සුදුසුකම සපුරා ගැනීමට ඔහු උත්සාහ කරන බවද පැවැසේ.

මේ පිළිබඳව එන්.ඕ.සී. ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතාගෙන් ඊයේ "මව්බිම" කළ විමසීමකදී ඔහු කියා සිටියේ තමන් ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ හිටපු ආසන්නම සභාපතිවරයා ලෙස එම විධායක කමිටුවේ සාමාජිකයකු බවයි. ඒ අනුව එන්.ඕ.සී. නිලවරණයේදී ලේකම් ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට එය සුදුසුකමක් බව පැවැසූ සිල්වා මහතා "මම තවමත් ටෙනිස් සංගම් විධායක සභාවේ සාමාජිකයෙක්. ඒ නිසා එන්.ඕ.සී. ඡන්දයට එන්න මට කිසිම බාධාවක් නැහැ. වෙනත් සංගමයක තනතුරු ගන්නත් මට අවශ්‍ය නැහැ. නමුත් හැමදාමත් ජූඩෝ ක්‍රීඩාවේ දියුණුවට වැඩ කරන නිසයි එහි තනතුරක් ගන්න කියල ඉල්ලීම් කළේ" යනුවෙන් පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon