අර්ජුනලා දෙන්නම කෝප් පරීක්ෂණවලදී වැරැදිකරුවන් වන නිසා මට අතගහන්න බෑ කිව්වා

  👤  3745 readers have read this article !
By mawbima 2017-11-23

බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත් කළ පසු ගනු ලබන අධිකරණ ක්‍රියාමාර්ගවලදී මන්ත්‍රිවරුන්ගේ ඇමැතුම්වල වටිනාකම තීරණය වන බව සම කැබිනට් ප්‍රකාශක ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කෙළේය.
ඔහු එසේ පැවැසුවේ ඊයේ (22දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්ය. එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට සම කැබිනට් ප්‍රකාශකවරු මෙසේද පිළිතුරු දුන්හ.

කෝප් කමිටු සාමාජිකයන් කිහිප දෙනකු සමඟ බැඳුම්කර චෝදනා ලැබූ සමාගමේ අයිතිකරුවන් අතර දුරකතන ඇමැතුම් සිදුවූ බව හෙළි වී තිබෙනවා. මේ ගැන අදහස කුමක්ද?
රාජිත සේනාරත්න මහතා

කෝප් කමිටු සාමාජිකයන් කතා කිරීම තමයි සුදුසු. කෝප් එකේ සාමාජිකයන් කියන්නේ ස්වාධීන විනිශ්චයකරුවන් වගේ පිරිසක් නෙවෙයි. සභාපති නම් ස්වාධීනව සිටිය යුතුයි. කෝප් එකේ සභාපතිට එක එක ප්‍රකාශ කරන්න බැහැ. බැඳුම්කර නිකුතුව ගැන මම මේ රටේ ඉන්න සුප්‍රසිද්ධ ආර්ථික විශේෂඥයන්ගෙන් කරුණු විමසුවා. නමුත් ඒ අයටත් පැහැදිලි උත්තරයක් දෙන්න බැරි වුණා. ඒත් අපේ කට්ටිය මෙච්චරක් අච්චරක් අලාභයි කියලා කියනවා. ඒත් එවැන්නක් හොයා ගෙනවත් නැහැ. කෝප් කමිටු සාමාජිකයන් ඒ ගැන මහ බැංකු අධිපති සමඟ කතා කිරීම නරක දෙයක් නෙවෙයි. ඒකට සම්බන්ධ මිනිසුන්ගෙන්ම අහගන්නයි කතා කරන්නේ.
එහෙම කතා කිරීම නරක නැත්නම් හෝ සරල කාරණයක් නම් ඇයි දුරකතන සංවාද හෙළිවීමෙන් වරප්‍රසාද කඩ වූ බව කියන්නෙ?
පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ මේවා හෙළිදරව් කරන්න පුළුවන්ද කියලා වෙනම බලන්න ඕන.

දයාසිරි ජයසේකර මහතා
ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට වරප්‍රසාදයක් අහිමි වීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නඟන්න පුළුවන්. ඒ ප්‍රශ්නය වරප්‍රසාද කමිටුවට ගියාම තමයි මොකක්ද වෙන්නෙ කියලා තීන්දුවක් ගන්නෙ. දුරකතන ඇමැතුම් සම්බන්ධව මටත් චෝදනාවක් තියෙනවා. ඒත් 7 වැනි පාර්ලිමේන්තුවෙ ඩියු ගුණසේකර මහත්තයා කෝප් කමිටුවේ සභාපති ලෙස කටයුතු කරද්දී මම පාර්ලිමේන්තුවෙ සිටියේ නැහැ. 2016 ජුනි 8 සහ ඔක්තෝබර් 26 කාලයේ සිදු වූ ඇමැතුම් දෙකක් ගැනයි මට චෝදනා තිබෙන්නෙ. දේශපාලනඥයෝ විධියට අපට ඇමැතුම් එනවා. අර්ජුන මහේන්ද්‍රන් කතා කරලා හමු වෙලා තමන් නිර්දෝෂී බව මට කිව්වා. සිදු වන කෝප් පරීක්ෂණ අනුව මේ දෙන්නම වැරැදිකරුවන් බවට පත් වෙන තත්ත්වයක් තියෙන නිසා මට අතගහන්න බැහැ කිව්වා. වැදගත් වෙන්නේ කවුද හමු වුණු කාරණාව නෙවෙයි. කෝප් කමිටුවේ සිටි ස්ථාවරයයි. විවිධ පිරිස් හමුවෙලා අපි කෝප් කමිටුවේදී කතා කරන්නෙ. කෝප් වාර්තාවලින් මම අර්ජුන් ඇලෝසියස්ලා පිළිබඳ කතා කළාද නැද්ද කියලා දැන ගන්න පුළුවන්. ඔවුන්ට නීත්‍යනුකූල ක්‍රියාමාර්ග ගන්න ඕන කියලත් මම අස්සන් කළා. අර්ජුන් ඇලෝසියස් ආරක්ෂා කරන්න කිසිදු වෙලාවක කටයුතු කළේ නැහැ.

ඒත් ඔබ ඇමැතුම් 18ක් ගෙන තිබෙන බවයි කියැවෙන්නේ?
ඒවට මිස් කෝල් පවා ඇතුළත් වෙලා තියෙනවා. ඕකෙ තිබුණෙ මොනවද කියල බලන්නත් මම කැමැතියි. ඒත් පරීක්ෂණය පැවැත්වෙන කාලය තුළ ඇමැතුම් 2ක් පමණයි හුවමාරුවෙලා තියෙන්නෙ.

ඔබ අර්ජුන ඇලෝසියස් හමුවීම ගැන කාටවත් කිව්වද?
නැහැ. මම මොනවටද කියන්නෙ. ඕන තරම් මිනිස්සු හමුවෙනවා. ජවිපෙ අයත් හමුවෙනවා. වඩා වැදගත් වෙන්නෙ මම හැසිරුණු විධිය පමණයි.
බැඳුම්කර නිකුතුවෙන් අලාභයක් වූ බවට ඔබට අවබෝධයක් නැතත් අලාභයක් වූ බව බන්දුල ගුණවර්ධන මන්ත්‍රිවරයා කියා තිබෙනවා?
රාජිත සේනාරත්න මහතා

අය - වැය ලේඛනයක් ආණ්ඩුව ගේන විට ඔහු විපක්ෂයේ ඉන්නවා නම් ඒක 'ඍණ' වෙනවා. ඔහු ආණ්ඩුවට ගියාම ඒක 'ධන' වෙනවා. 2001ත් එහෙමනෙ වුණේ.
ලක්ෂ්මන් යාපා ඇමැතිවරයාත් ටි්‍රලියනයක අලාභයක් ගැන කියනවා?
කවුරු කිව්වත් එහෙමනෙ. එහෙම දන්නව නම් කොමිසමේ කාලය දිගින් දිගටම දිගු කරනවද? මම නම් හිතන විධියට ඔක්කොටොම ඉස්සෙල්ල විදේශීය විශේෂඥයෝ ගෙන්වන්න තිබුණා. ඒත් මේකෙ කතා වුණේ කෝල් ගන්න හැටි. ගෙවල් ගන්න හැටි ගැන. මේ රටේ ආර්ථිකයට ඒව එකක්වත් වැඩක් නැහැ. වඩා වැදගත් පාඩුද, ලාභද, මොකද වුණේ කියන කාරණය සෙවීමයි.

දයාසිරි ජයසේකර මහතා
විදේශීය විශේෂඥයන්ගෙන් යුතුව මේ සම්බන්ධව විගණනයක් කරන්න කියලා මම දහ වතාවක් විතර කෝප් කමිටුවේදීත් කිව්වා.
ටෙලිෆෝන් 'ටැප්' කිරීමේ වැඩපිළිවෙළක් රජය කරගෙන යනවාද?
එහෙම එකක් නෙවෙයි මේ සිදු වෙලා තියෙන්නේ. ඒත් අර්ජුනගේ කෙටි පණිවුඩ ටික අරගෙන තියෙනවා. ඒක වෙනම කාරණයක්. ජනාධිපති කොමිසම වාර්තාව දීමෙන් පසුව නඩු පැවැරීමේදියි මේ ඇමැතුම්වල වටිනාකම් තීරණය වෙන්නෙ. එතකොට මන්ත්‍රිවරුන්ගේ වත්කම් සොයන්න වෙයි. එතකොට වරදක් ඔප්පු වුණොත් අපි වරදකරුවන් බවට පත් වෙයි.

රාජිත සේනාරත්න මහතා
අර්ජුන මහේන්ද්‍රන් එක්ක මාධ්‍යවේදීන් කතා කරලා නැද්ද? මන්ත්‍රිවරුන් කතා කළාම විතරද වැරැදි?
දයාසිරි ජයසේකර මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ සදාචාරය විමසනවා වගේ බැඳුම්කර සල්ලිවලින් ගහන පත්තරේටත් මාධ්‍යවේදීන් ගියානෙ. දැන් ඒ ගොල්ලන්ටත් තමුන්නාන්සේ අත දිගු කරනවද? හොරකම් කරපු සල්ලිවලින් මාධ්‍යවේදීන් විධියට වැටුපක් ලබනවා කියලා.
රවි කරුණානායක මුදල් ඇමැති ලෙසට සිටියදී අමැතුම් 384ක් ගෙන තිබෙනවා. ඒ ගැනත් ප්‍රශ්නයක් නැද්ද?
රාජිත සේනාරත්න මහතා
ඒකෙ බලන්න ඕන මොනවද කතා කළේ කියලයි. එදා ඉඳලම රවි කරුණානායකලා, අර්ජුන් ඇලෝසියස්ලා සබඳකම් තිබුණා. නාමල් රාජපක්ෂ කොච්චර කතා කරලා තියෙනවාද?

ඒත් රවි කරුණානායක කොමිසමට ඇවිත් කිව්වේ ඔහු දන්නෙ නැහැ කියලා?
ඒක රවි කරුණානායකගෙන් අහන්න. මම ඔහුගෙ තෝල්කයා නෙවෙයි. රාජපක්ෂගෙ සල්ලි ඩුබායිවල තැන්පත් කරන කොට ඒ බැංකුවෙ කළමනාකරු විධියට අර්ජුන මහේන්ද්‍රන් සිටියා.
ජනාධිපති කොමිසමේ වාර්තාව නිකුත් වූ පසුව සිදුවන ඉදිරි ක්‍රියාමාර්ග කුමක්ද?
දයාසිරි ජයසේකර මහතා

ඒ පිළිබඳ නඩු පවරන්න මහාධිකරණයකට යවන්න පුළුවන්. එතකොට නැවත සාක්ෂි විමසීමක් අවශ්‍ය නැහැ. සමහර වත්කම්, දූෂණ පිළිබඳ කාරණා ආවොත් අල්ලස් කොමිසමට යනවා. කොමිසමකින් එන කාරණා පිළිබඳ කටයුතු කරන්න අල්ලස් හෝ දූෂණ කොමිසමේ බලතල වැඩි කරනවා.
ආණ්ඩුවේ ඇමැතිවරයෙක් ගාමිණී සෙනරත්ව සඟවා ගෙන සිටි බවටත් චෝදනා තිබෙනවා? ඒ ගැන හොයල බැලුවද?
හොඳට හොයල බැලුවා. පෞද්ගලිකව හමු වුණාම කියන්නම්.

බැඳුම්කර කොමිසම පත් කළේ එජාපය විනාශ කරන්න කියලා සුජීව සේනසිංහ රාජ්‍ය ඇමැතිවරයා කියා තිබෙනවා. ඒ ගැන ශ්‍රී ලනිපයේ අදහස කුමක්ද?
දයාසිරි ජයසේකර මහතා
මම ඒ කතාව විශ්වාස කරන්නේ නැහැ. මේ සම්බන්ධව විශාල කතිකාවක් රට ඇතුළෙ තිබුණා. බැඳුම්කර කොමිසමක් පත් කරන්න ජනාධිපතිතුමා තීරණය කළා.
කොමිසම පත් කිරීම ගැන ආණ්ඩුව ඇතුළෙන්ම විරෝධයක් තිබෙන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කොට තිබෙනවාද?

රාජිත සේනාරත්න මහතා
ජනාධිපතිතුමා මේක දැම්මෙ බොහොම සද්භාවයෙන්. පසුගිය ආණ්ඩුව දූෂණ කළා. අපි ආවේ ඒවා කරන්න නෙවේ. අපි නීතියෙන් පරිබාහිරව දඬුවම් දෙන්න ගියේ නැහැ.
බැඳුම්කර සිද්ධිය යටගහන්න රාජපක්ෂ පවුලෙ අයෙක් අත්අඩංගුවට ගන්න යන බවට හිටපු ජනාධිපතිවරයා චෝදනා කොට තිබෙනවා?
එතකොට මේ කොමිසම ගෙනාවෙ ඒ අයගෙ එකක් යටපත් කරන්නද?
පළාත් පාලන මැතිවරණය තවත් කල් යනවා?

ශ්‍රී ලනිපයත්, එජාපයත් අධිකරණයේ දී තර්ක කළේ මැතිවරණය පවත්වන්න ඉඩ දෙන්න කියලයි. වෙනත් තීන්දුවක් දීලා තියෙනවා නම් ඒකට කරන්න දෙයක් නැහැ.
ගෝඨාභය රාජක්ෂ අත්අඩංගුවට ගන්නා බවට තොරතුරු දෙන්නෙ පොලිසියෙන්ද?
පොලිස් මාධ්‍ය ප්‍රකාශක
නීතිඥ රුවන් ගුණසේකර මහතා

මම දෙනව නම් ඔබට දෙනවා. මම තාම එහෙම දෙයක් දීල නැහැනෙ. එවැනි විමර්ශනයක් කරනවා නම් ඔවුන් ඒක ගැන මා දැනුවත් කරනවා. එහෙම දැනුවත්වීමක් නැහැ.
ගිංතොට ගැටුමේදී පොලිසිය අසමත් වී ඇති බව පොලිස්පතිවරයා කියා තිබෙනවා?
ආගමික හා ප්‍රජා නායකයන් පවා අසමත්. එහෙම අසමත් නොවුණා නම් අමනුෂ්‍යත්වයේ සිදුවීමක් නොවන බවත් කිව්වා. ඒත් සිද්ධි 27ක් වෙලා. දැන් අත්අඩංගුවට ගත් 22 දෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කොට තිබෙනවා. සියයට සියයක්ම සාමය ස්ථාපිතයි.
සමාජ ජාලවල පළ වන දේවල් ගැන නීතිමය පියවරක් ගන්නවාද?

ජාතීන් අතර විරසක ඇති කරන අසත්‍ය දේවල් පළ කරපු අයව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනවා. දැනට ඒ ගැන සී.අයි.ඩී.ය විමර්ශන කරනවා.
රාජිත සේනාරත්න මහතා
ජනාධිපතිතුමාට ඉතාම කැත විධියට අපහාස කරනවා. ඒ අයට දැඩි දඬුවම් පමුණුවන්න ඕන. එහෙම නැතිව මේක පාලනය කරන්න බැහැ.
ඊ නිවුස් වෙබ් අඩවිය වාරණය කළේ කුමන නීතිය යටතේද?
දයාසිරි ජයසේකර මහතා

උසාවි තීන්දුවක් අරගෙන ආව නම් හොඳයි. ගිය පාරත් ඔය වෙබ් අඩවිය නතර කළේ උසාවි තීන්දුවක් අරගෙනයි. ජනාධිපතිතුමා මේකට සම්බන්ධ නැහැ. එතුමාට ගහන තරමට තහනම් කළොත් බහුතරයක් නතර කරන්න වෙයි.
චන්දික හතුරුසිංහ ලංකාවට ආවාද? ඔහු කවද්ද පත් කරන්නෙ?
තවම දන්නෙ නැහැ. තවම කතා කළෙත් නැහැ.
අය - වැය සංශෝධනයක් ගැන බියර් මිල අඩු කිරීම ගැන කතා කරනවාද?
රාජිත සේනාරත්න

මේකට පදනම් වුණේ කොළඹ විශ්වවිද්‍යාලය කියල මුදල් ඇමැති මුලින් කිව්වා. පසුව හොයල බලන කොට පෞද්ගලිකව කළ දෙයක් කිව්වා. මම නියම දත්ත පෙන්නුවා. නීති විරෝධී මත්පැන් 49%ක් කියලා පිළිගන්න බැහැ. 2.6%-6% අතර තමයි පාවිච්චි කරන්නෙ. වැඩිපුර පාවිච්චි සැර මත්පැන්. බියර් නෙවෙයි. බියර්වල මිල පහළ දැම්මා කියල සැර මත්පැන් භාවිතය අඩු වෙනවා කියලා ලෝකයෙ කොහේවත් සොයා ගෙන නැහැ. බියර් පාවිච්චි කරන්නෙ අවුරුදු 25ට අඩු තරුණයො. මේක වර්ධනය වුණොත් ප්‍රශ්නයක් වෙනවා.

මේ බද්ද යළි සංශෝධනය වෙනවාද?
ඔව්. මම ජනාධිපතිතුමා එක්කත් කතා කළා.
පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලනිප හා ඒකාබද්ධය එකතු වෙනවාද?
දයාසිරි ජයසේකර

එහෙම කරනවා නම් ඒකට සහාය දෙන්න ඕන. ඒ අය පක්ෂයෙන් ගිහින් පොහොට්ටුවට වැඩ කළොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.
දෙනගම ධම්මික රණවීර
ඡායාරූපය - ගැමුණු වැල්ලගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon