මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ ගොම තැම්බට හෙණ ගැහුවා වගේ වැඩක්

  👤  3668 readers have read this article !
By mawbima 2017-11-23

ලංකා ඉතිහාසයේ දැවැන්තම මූල්‍ය වංචාව ජනතාව ඉදිරියේ හෙළිදරව් වීමත් සමඟ යහපාලන ආණ්ඩුව විශාල අර්බුදයකට ලක් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා පවසයි.

ඊයේ (22දා) පාර්ලිමේන්තුවේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීය.
මේ වෙද්දී යහපාලන ආණ්ඩුවට වෙලා තියෙන්නේ ගොම තැම්බට හෙණ ගැහුවා වගේ වැඩක්.

ඊයේ පාර්ලිමේන්තුවේදී සුජීව සේනසිංහ රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළා බැඳුම්කර කොමිසම එජාපයට එරෙහිව දැවැන්ත පහර ගැසීමක් කරන බව. තමන්ගේ ගැලවීමට එතුමා ප්‍රකාශ කරනවා අර්ජුන් ඇලෝසියස්ට තමන් කතා කළේ පොතක් ලියන්නයි කියලා. හරියට මේක හොරාගේ ආච්චිගෙන් පේන ඇහුවා වගේ වැඩක්. සභානායක කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ දුරකතන ඇමැතුම් පිළිබඳ සොයා බැලීමේදී වරප්‍රසාද කඩවුණු බවට. නමුත් කිසිම මන්ත්‍රිවරයකුගේ දුරකතන සංවාද ටැප් කිරීමක් සිදුවෙලා නැහැ.
පසුගිය ආණ්ඩු කාලයේ සිටි රාජ්‍ය නිලධාරීන්ට මුදල් අවභාවිත සම්බන්ධයෙන් චෝදනා එල්ල කළා. අද පුවත්පත්වල වාර්තා කරලා තිබෙනවා ජනාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන්ගේ ගනුදෙනු සම්බන්ධයෙන් පරීක්ෂණ කළ යුතු බවට. එතුමාගේ කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු අත දික්කරලා කියද්දී අපි කුමක් කියන්නද? ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ රජයට එල්ල වූ චෝදනා නිශේධ වෙනවාද? එහෙමත් නැත්නම් වත්මන් ජනාධිපතිවරයා ඇතුළු පවුලේ අයට එල්ල වූ චෝදනා ඔප්පු කරනවාද කියලා අපි ආණ්ඩුවෙන් අහනවා.

ඒ වගේම තමයි මේ ආණ්ඩුව තමන්ට වාසිදායක තත්ත්වයක් ඇතිවන තෙක් මැතිවණ කල් දමන්න තමයි හිතාගෙන ඉන්නේ. මේ ගෙවී යන්නේ ආණ්ඩුවේ අවරෝහණ කාලයයි.
පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන

අගමැතිවරයා බැඳුම්කර පිළිබඳ කොමිසමටත් ගිහින් ලංකා ආණ්ඩුවේ රහසිගත ණය තිබෙන බව මුළු ලෝකයටම දැනෙන ලෙස ප්‍රකාශයට පත් කිරීම ඉතාම බරපතළ සිදුවීමක් ලෙසයි ඒකාබද්ධ විපක්ෂය දකින්නේ. මුදල් පිළිබඳ සම්පූර්ණ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. රජයේ ආදායම්, වියදම්, රාජ්‍ය ණය, විදේශ ආධාර යනාදිය පිළිබඳ සෑම රුපියලක් ගැනම නිවැරැදි ලෙස පාර්ලිමේන්තුව දැනුවත් විය යුතුයි. එවන් තත්ත්වයක් තුළ පසුගිය කාලයේ පාර්ලිමේන්තුවට මුදල් අමාත්‍යාංශය විසින් විවිධ වාර්තා ඉතාමත් වගකීමෙන් යුතුව ඉදිරිපත් කරලා තිබෙනවා. මූල්‍ය කළමනාකරණ වගකීම් පනත යටතේ රාජ්‍ය ණය පිළිබඳ සියලුම විස්තර ඇතුළත් වාර්තා පාර්ලිමේන්තුවට පිළිගන්වලා තිබෙනවා. මූල්‍ය නීති පනත අනුව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්ෂික වාර්තාවන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මේ කිසිම වාර්තාවක රහසිගත ණයක් තිබෙන බවට වාර්තා වන්නේ නැහැ. නමුත් අග්‍රාමාත්‍යතුමා ලෝකයට කියනවා පසුගිය රජයේ රහසිගත ණය තිබෙන බවට. එපමණක් නොවෙයි එම මුදල් විදේශිකයන් තමන්ගෙන් ඉල්ලන බවත් එතුමා කියලා තිබෙනවා. එහෙම බැලුවොත් ආසියානු බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ආයතනවලටත් මේ රහසිගත ණය ගැන අපි සඟවලා තිබෙනවා. එය බරපතළ තත්ත්වයක්.

ඉෂාරා සිල්වා
ඡායාරූපය - සරත් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon