සමහරුන්ට ‘වෙනස’ සනීප නැති වුණාට මේ රටේ පොදු ජනතාවට නම් සනීපයි

  👤  3742 readers have read this article !
By mawbima 2017-11-23

අද තමන් වෙත කුමන පාර්ශ්වයකින් ඇඟිල්ල දිගු වුවද, යහපාලන සංකල්පය ක්‍රියාත්මක කිරීමට ගත් තීන්දුව අනුව දූෂණය, වංචාව, හොරකම සමඟ තිබූ දූෂිත දේශපාලනය රටින් තුරන් කර යහපත් දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමේ මූලික අඩිතාලම දැමූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
ජනාධිපති සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 100ක සූර්යබල ශක්තිය එක් කිරීම සනිටුහන් කරමින් පෙරේදා (21දා) බත්තරමුල්ල වෝටර්ස් එජ්හි පැවැති උත්සවය අමතමිනි.

මෙම උත්සවය ඇමැතූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.
2014 නොවැම්බර් 21දා අද වගේ දවසක මම කොළඹ නගර ශාලාවේදී ආණ්ඩුවෙන් එළියට ඇවිත් ප්‍රවෘත්ති සාකච්ඡාව පවත්වපු වෙලාවයි මේ. මිනිසුන්ට විවිධ ඉලක්ක තියෙනවා. මීට වසර තුනකට පෙර මම එදා ආණ්ඩුවෙන් එළියට බැස්සේ මගේ ඉලක්ක සම්පූර්ණ කරන්නයි. එය බොහෝ සංකීර්ණ අභියෝගාත්මක ඉලක්කයක්. ඒ ඉලක්කය තුළ තිබූ ගැටලු සහගත අභියෝගාත්මක කාර්යයේදී මා ඉතාමත් සතුටු වෙනවා.

අපි අපේ රට වෙනුවෙන් මේ ගෙවී ගිය වසර තුනක කාල සීමාව තුළ සූර්යබල සංග්‍රාමයේ මෙගාවොට් 100ක ඉලක්කය සම්පූර්ණ කළා සේම අපි ලබාගත් ජයග්‍රහණ රාශියක් තිබෙනවා. මා මාස දෙකකට කලින් මාතර ගියා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ඉලක්කයක් වෙනුවෙන්. මීට වසර තුනකට පෙර කොළඹ සිට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ජාත්‍යන්තර සබඳතා සඳහා මුහුදු මාර්ගයෙන් එළනු ලබන විදුලි සන්දේශ කේබල් ක්‍රමයක් සඳහා මම කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ ඉඳන් පරිගණකයෙන් මුල්ගල් තැබුවා. ඉන් වසරකට පසුව මාතරට ගිහින් මුල්ගල් තබපු එය පරිගණකයෙන්ම විවෘත කළා.

මීට වසර තුනකට පෙර ආණ්ඩුවෙන් එළියට බහින විට අපිට අභියෝගාත්මක වූ ගැටලු සහගත වූ ඉලක්කයන් තිබුණා. ඒ අභියෝග ජයගන්න. අද ලෝකයේ සියලු රාජ්‍යයන් අපේ මිතුරන් බවට පත්වෙලා. ජාත්‍යන්තර සබඳතාව, සහයෝගිතාව අද රටේ ජනතාවගේ අනාගත සංවර්ධනය සඳහා ලැබී තිබෙනවා. මට කටාර් රාජ්‍යයේ සිට විශේෂ පණිවුඩයක් ආවා. කටාර් රාජ්‍යයෙන් ලබා දෙන අංගසම්පූර්ණ නගරයක් අපි කැමැති ඕනෑම තැනක ඉදිකරන්න ලෑස්තියි කියලා.

ඇතැම් අය අහනවා වෙනස සනීපද කියලා. අපි කියනවා රටේ ජනතාවට වෙනස හොඳට සනීපයි. මොකද මීට අවුරුදු 3කට කලින් ආර්ථික සම්බාධක පැනවීමේ ජාත්‍යන්තරය පළමුවැනි පියවර තබා තිබුණා. යුරෝපයට අපේ රටින් මාළු අලෙවිය තහනම් කර තිබුණා. මේ රටට ආර්ථික සම්බාධක ඇති කිරීමේ පළමු පියවර හැටියට ඒ කටයුතු සිදු වුණා. මීට වසර තුනකට පෙර ආණ්ඩුවෙන් එළියට බහින විට දේශපාලන වේදිකාවේ, පාර්ලිමේන්තුවේ, ජනමාධ්‍යයේ සියල්ලකම කතාබහට ලක්වුණු බොහෝ දේවල් යුද අධිකරණය, විදුලි පුටුව, විදේශීය විනිසුරුවන් ගැන කතා කළා. ඒ සියල්ල අපි ලද ජයග්‍රහණයත් එක්ක නැති වුණා. ඒ තත්ත්වයට මේ රට අපි වෙනස් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය තුළ ස්වාධීන කොමිෂන් සභා පත් කරලා මිනිසුන්ගේ මානව අයිතිවාසිකම් ශක්තිමත් කළා. රජයේ සියලු දෙනාම කොන්ද කෙළින් තියාගෙන වැඩකරන්න රාජ්‍ය කොමිෂන් සභාව ශක්තිමත් කළා. නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කළා. මට පෙර මේ තනතුරුවල හිටිය අය අධිකරණයට දුන්න දුරකතන ඇමැතුම්, පාවිච්චි කරපු හැටි, නඩු තීන්දු දෙන්න කටයුතු කළ ආකාරය, නීතිපති දෙපාර්තමේන්තුව පාවිච්චි කළ ආකාරය මොන තරම් දූෂිතද? මීට වසර තුනකට පෙර අද වගේ දවසක වෙනසට එළියට බැහැලා ඒ බොහෝ දේ කළ නිසයි.

ආර්ථිකය ශක්තිමත් කරන්න, දේශීය ණය කන්දරාවෙන් රට නිදහස් වෙන්න අපි ගත්ත තීන්දුවල යහපත් ප්‍රතිඵල රාශියක් තියෙනවා.
සුබ දකින විට දෙයක අසුබ දකිනවා. හොඳ වගේම නරකත් තිබෙනවා. අපි සෑම කෙනෙක්ම වැඩකරන්නේ මිනිසුන් එක්කයි ගස්, ගල්, යකඩ එක්ක නෙවෙයි. අවුරුදු තුනකට පෙර එදා මේ වෙලාවට නගර ශාලාවට ගියේ පාර්ලිමේන්තුවේ ඉඳලා. ඔබේ උත්සවයට මේ ජයග්‍රහණය සමරන්න ආවේ පාර්ලිමේන්තුවේ ඉඳලා. අපි බලාපොරොත්තු වූ ඉලක්ක සම්පූර්ණ කිරීම පිළිබඳ තවම කාටවත් සහතික දෙන්න පුළුවන්කමක් නැහැ. සමත්ද අසමත්ද කියලා. අපේ නිල කාලය අවසන් වන විට තමයි සමත් හෝ අසමත් කියා සහතිකය දෙන්න පුළුවන් වෙන්නේ. ඒ සහතිකයට සමත් ලකුණු ගන්න බොහෝ කරුණු අපිට දත්ත සාධක සාක්ෂි එක්ක ප්‍රදර්ශනය කරන්න පුළුවන්. අපේ ස්වාභාවික සම්පත ඉතාම අඩුවෙන් භාවිත කරන රටක් අපි. අපිට තියෙන සම්පත්වලින් අපි ප්‍රයෝජන ගන්නේ නැහැ. හෙට දවස වෙනුවෙන් අපි සුබවාදී ගමනක් යන්නට ඕනේ. ජීවත් වන ජනතාවට වගේම දරුවන්ට හෙට හොඳ අනාගතයක් හදන්න තමයි මේ සියලු කැපවීම් කරන්නේ.

පහන් විජේසේකර
ඡායා - අකිල ජයවර්ධන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon