මාගම්පුර වරායේ සේවකයන්ගේ මවුපියෝ සත්‍යග්‍රහයක

  👤  3628 readers have read this article !
By mawbima 2017-11-23

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

හම්බන්තොට මාගම්පුර වරායේ සේවය කරන තම දරුවන් වරාය අධිකාරියට බඳවා ගෙන ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කරදෙන ලෙස ඉල්ලමින් වරාය සේවකයන්ගේ මවුපියන්ගේ එකමුතුව මඟින් ආරම්භ කළ විරෝධතාව දෙවැනි දිනටත් ඊයේ (22දා) පැවැත්විණි.

හම්බන්තොට මාගම්පුර වරායේ ප්‍රධාන පරිපාලන ගොඩනැඟිල්ල වන සයුරුපාය ගොඩනැඟිල්ල ඉදිරිපිට ඉදිකරගත් මඩුවක සිටිමින් ඔවුහු මේ ආකාරයෙන් සත්‍යග්‍රහයේ නියැළෙති. හම්බන්තොට වරාය සේවකයන් වරාය අධිකාරියට බඳවා ගන්නා ලෙස ඉල්ලමින් එහි සේවකයන්ද අවස්ථා කීපයකදී විරෝධතා දැක්වූ අතර මේ වනවිටත් ඔවුන්ගේ රැකියා සුරක්ෂිත කරදීම සඳහා කිසිදු වගකිවයුතු බලධාරියකු මැදිහත් නොවූ බවත් තම දරුවන්ගේ රැකියා සුරක්ෂිත කර දෙන තුරු අඛණ්ඩ සත්‍යග්‍රහයක නියැළෙන බවත් සත්‍යග්‍රහයේ නියැළෙන මවුපියෝ කියා සිටිති.

අපි මේ මවුපියන්ගේ සංගමය විදියට ඉදිරිපත්වෙලා ඉන්නේ හම්බන්තොට වරායේ සේවය කරන මේ අහිංසක දරුවෝ වෙනුවෙන්. මේ දරුවෝ අවුරුදු පහකට වැඩිය කාලයක් මේ ආයතනයේ සේවය කරලා මේ වනවිට දෙසැම්බර් 9දාට පෙර ඉල්ලා අස්වෙන්න කියලා පාලන අධිකාරිය මඟින් ලිපි ලේඛන භාර දීල තියෙනවා. එහෙත් අපි බලධාරීන්ගෙන් අහන්නේ මේ දරුවෝ රැකියාවක් නැතිව කොහාටද එළියට බහින්නේ කියලා. අපේ දරුවෝ අනාථ කරන්නේ නැතිව ඔවුන් වරාය අධිකාරියට බඳවා ගෙන රැකියා සුරක්ෂිත කර දෙන ලෙස රජයේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව මවුපියන්ගේ සංගමය වෙනුවෙන් අදහස් දැක්වූ නීල් ධර්මසිරි මහතා කියයි.

අපේ ළමයින් ගත්තේ වරාය අධිකාරියේ රැකියාවක් දෙනවා කියලා. එහෙත් දැන් කොම්පැනියක් කියලා ළමයින්ට සොච්චම් මුදලක් දීලා ළමයින් අයින් කරන්න හදන්නේ. ළමයින්ට දැන් වෙලා තියෙන්නේ මංකොල්ල කන්නද? ළමයින්ගේ රැකියාව දුන්නේ නැත්නම් අපි මාරාන්තික උපවාසයක් හරි කරන බවයි කේ.ජී. රම්‍යලතා ප්‍රකාශ කර සිටියේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආර්. ගමගේ මහත්මිය,

"දරුවෝ ඉන්න මවුපියන් හැටියට සෑම දෙනාම මේ දරුවන්ගේ දුක ගැන බලන්න ඕනෑයි" කීවාය.
මේ සම්බන්ධයෙන් අප හම්බන්තොට මාගම්පුර වරායේ මාගම්පුර වරාය කළමනාකරණ (පෞද්ගලික) සමාගමේ සභාපති වන නීතිඥ සුගත් හඳුන්ගේ මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කර සිටියේ මෙම සමාගමෙන් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වන සේවකයන්ට වන්දි දීමේ යෝජනාවක් කළමනාකාරිත්වය මඟින් ඉදිරිපත් කර තිබෙන බවත් එම වන්දි දීමේ යෝජනාව සාමාන්‍ය රජයේ වන්දි දීමේ ක්‍රමයට වඩා තුන් ගුණයට වැඩි ප්‍රමාණයක් බවත්ය.

මාගම්පුර කළමනාකරණ පෞද්ගලික සමාගම වරාය අධිකාරියත් එක්ක තිබෙන ගිවිසුම දෙසැම්බර් 09දා වනවිට අවසන් වෙනවා. එහෙත් මේ සමාගම මඟින් අස්වෙන සේවකයන් හට හම්බන්තොට වරායේ අපේක්ෂිත සේවා සපයන්නන් මඟින් එහි රැකියාවක් සඳහා අයැදුම් කිරීම කිසිසේත් බාධා නොවන බවද සභාපතිවරයා සඳහන් කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon