ඉණෙන් පහළ පණ නැති වීමේ අවදානමක සිටින රෝගී සිසුවා පිහිට පතයි

  👤  3663 readers have read this article !
By mawbima 2017-11-23

පුද්ගලයන් ලක්ෂයකින් එක් අයකුට පමණක් වැලඳෙන සර්කෝමා රෝගයෙන් පීඩා විඳින පාසල් ශිෂ්‍යයකු යළිත් දෙපයින් නැඟී සිට තම ජීවිත සිහිනය ජය ගැනීමට ජනතා උපකාරය අයැද සිටී.

ඔහු නමින් ජී. ජී. රුක්ෂාන් නයනකාන්ත (19) වන අතර හැටන් - වටවල ටෙම්පලස්ටෝ ජනපදයේ පදිංචිකරුවෙකි. හැටන් ශ්‍රී පාද විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය හදාරා ඇති නයනකාන්ත 6 වැනි ශේ්‍රණියේ සිට කුරුණෑගල මහව විජයබා ජාතික පාසලේ අධ්‍යාපනය ලැබුවේය. මෙම වසරේ අගෝස්තු මාසයේ තාක්ෂණික අංශයෙන් අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අධ්‍යයන කටයුතු කරමින් සිටියදී මීට මාස අටකට පමණ පෙර අසනීප වී තිබේ. මුලින්ම පිට කොන්ද ප්‍රදේශයේ කශේරුකාව මත ගැටිත්තක් පැමිණ එය විශාල ගෙඩියක් දක්වා වර්ධනය වීම නිසා මහනුවර රජයේ රෝහලේදී සැත්කමකට භාජන කර තිබේ. කිලෝ හතර හමාරක් පමණ වූ එම ගෙඩිය ඉවත් කිරීමෙන් පසු මාස කීපයක් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වුවද නැවතත් එම ස්ථානයේ ගෙඩියක් හට ගෙන තිබේ. ඒ සම්බන්ධව නැවත වෛද්‍ය පරීක්ෂණ කිරීමෙන් අනතුරුව තහවුරු වී ඇත්තේ නැවතත් සැත්කමකින් ඉවත් කළ හැකි බවත් නමුත් ඔහුගේ ඉණෙන් පහළ කොටස සදාකාලිකවම අකර්මණ්‍ය වීමේ දැඩි අවදානමක සම්භාවිතාවක් පවතින බවය.
පසුව ඔවුන් සියලු වෛද්‍ය වාර්තා ඉන්දියාවේ සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමු කිරීමෙන් පසු සතුටුදායක පිළිතුරක් ලැබී තිබේ. එයට අනුව දින 90කදී සම්පූර්ණ හා ස්ථීර සුවය ලබාදිය හැකි බව සනාථ කර තිබේ. නමුත් ඒ සඳහා යොමු වීමට රුපියල් ලක්ෂ 14ක පමණ මුදලක් අවශ්‍ය වනු ඇත.

ජී. සද්ධාතිස්ස නම් ඔහුගේ පියා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකි. එච්. එම්. කරුණාවතී නම් ඔහුගේ මව පෙර පාසල් ගුරුවරියක වන අතර නයනකාන්තගේ අසනීප තත්ත්වය නිසා රැකියාවට සමුදී තිබේ. තම දරුවා සුව කිරීමේ දැඩි අවශ්‍යතාවක් ඇතත් මුදල් නොමැතිකමින් දැඩි ලෙස අසරණ වී ඇත. එම නිසා ඔවුන් ඉල්ලා සිටින්නේ තම දරුවා නැවතත් දෙපයින් නඟාසිටුවීම සඳහා ඉන්දියාවට ගෙන ගොස් ප්‍රතිකාර කිරීමට මුදල් ආධාර ලබාදී උපකාර වන ලෙසය.

උසස් පෙළ විභාගයෙන් පසු උසස් අධ්‍යාපනයට යොමුවී ඉන්ජිනේරුවකු වී රටට සේවය කිරීමට සිහින දකිමින් සිටි රුක්ෂාන් නයනකාන්ත දෙපයින් නඟාසිටුවීම සඳහා උපකාර කිරීමට කැමැති කෙනෙක් සිටී නම් 071 - 9069590 / 077 - 3454844 දුරකතන අංකවලට අමතන ලෙස හා සම්පත් බැංකුවේ 108057000077 ගිණුමට මුදල් බැර කළ හැකිය.

හැටන් - චන්න අද්දරගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon