මහින්ද - මෛත්‍රි එක්වන්නේ නම් එකම ලකුණක් යටතේ තරග කළ හැකියි

  👤  3791 readers have read this article !
By mawbima 2017-11-23

මාතලේ - හේවා පී. කරුණාරත්න

මහින්ද - මෛත්‍රි එක්වන්නේ නම් එකම ලකුණක් යටතේ තරග කිරීමට මාතලේ දිස්ත්‍රික්කයේ පළාත් පාලන හිටපු මන්ත්‍රිවරු තීරණය කරති. පෙරේදා (21දා) රාත්‍රි මාතලේ ග්‍රෑන්ඩ් මවුන්ට් හෝටලයේදී වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති නීතිඥ ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගත්තේය.
මධ්‍යම පළාත් සභා මන්ත්‍රිවරුන් වන ආචාර්ය ටී.ඩී. ජයතිස්ස මහතා සහ පරාක්‍රම දිසානායක මහතාද මෙම සාකච්ඡාවට එක්ව සිටි අතර මාතලේ, උකුවෙල, රත්තොට, යටවත්ත ඇතුළු පළාත් පාලන ආයතන රැසක හිටපු ප්‍රධානීන් සහ මන්ත්‍රිවරු 30ක් ඉක්මවූ පිරිසක් මේ අවස්ථාවට පැමිණ සිටියහ.

බෙදී වෙන්ව තරග කළහොත් සිදුවන අයහපත පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ මන්ත්‍රිවරු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය යටතේ තරග කිරීමේ තීන්දුවට පෙර මහින්ද රාජපක්‍ෂ සහ මෛත්‍රිපාල සිරිසේන නායකයන් එකඟතාවකට පැමිණීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

මහින්ද රාජපක්‍ෂ මහතා රටට නිදහස ලබාදී විශාල සංවර්ධනයක් කළ නායකයා බවත් මෛත්‍රිපාල සිරිසේන මහතාද කීර්තිමත් ඇමැතිවරයකු ලෙසටත් වර්තමානයේදී පක්‍ෂයේ සභාපතිවරයා සහ ජනාධිපතිවරයා ලෙසටත් රටේ දියුණුවට කටයුතු කරන නායකයා බවත් පෙන්වා දුන් මන්ත්‍රිවරු පක්‍ෂයේ ජයග්‍රහණය උදෙසා නායකයන් දෙපළ එක්ව කටයුතු නොකළහොත් විරුද්ධවාදියාගේ ජයග්‍රහණය කිරීමට උඩගෙඩි දීමක් වන බවද පැවැසූහ.

මහින්ද - මෛත්‍රි නායකයන් වහාම සම්මුතියකට පැමිණිය යුතු බවත් පක්‍ෂයේ ජයග්‍රහණය උදෙසා මෙම මහජන මතයට නායකයන් ගරු කළ යුතු බවත් වැවිලි කර්මාන්ත නියෝජ්‍ය ඇමැති නීතිඥ ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මහතා පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජයග්‍රහණය උදෙසා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දායකත්වයේ අවශ්‍යතාව පක්‍ෂයේ සමස්ත සාමාජිකත්වයම පෙන්වා දෙමින් තිබියදී නායකයන් මහජන මතයට ගරුකර කඩිනමින් එක්වනු ඇතැයි විශ්වාස පළ කළ නියෝජ්‍ය ඇමැතිවරයා බෙදී වෙන්ව කටයුතු කළහොත් ශෝචනීය ඉරණමකට මුහුණදීමට සිදුවනු ඇතැයිද පැවැසීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon