ෆයිසර් ඇමැතිකමින් ඉවත් විය යුතුයි

  👤  3879 readers have read this article !
By mawbima 2017-11-23

'වැරැදි ගැසට් නිවේදනයක් ගහලා නඩුවකට පළාත් පාලන ඇමැතිවරයා පිඹුරුපත් හැදුවා. ඒ නිසා ඔහු ඇමැතිකමෙන් ඉල්ලා අස් විය යුතුයි. එසේ නොකළොත් ඇමැතිකමෙන් ඉවත් කරන හැටිත් අපි දන්නවා.' යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පැවැසීය.

'අවුරුදු දෙකහමාරකට වඩා වැඩි කාලයක් පළාත් පාලන ඡන්ද කල් දමා තිබෙනවා. ඒ ඡන්දය කල් දැමීමට සාධාරණ හේතු කිහිපයක් තිබුණා.'
'නමුත් පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් අද අධිකරණය තීන්දුවක් දී තිබෙනවා. මේ නඩුව පවරා තිබෙන්නේ තමන්ගේ කැත, කිලිටි, වංක චේතනාවන්, අධිකරණය මඟින් ඉටුකරවා ගැනීමට බව කියන්න ඕනෑ.'

'ප්‍රජාතන්ත්‍රවාදය බරපතළ අනතුරකට මුහුණ පා තිබුණා. ජනවාරි 8 වැනිදා ජනතා තීන්දුව ඇතිවුණේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට පත් හා ඒකාධිපතිවාදය හිස එසවීමට එරෙහිවයි. ඒ නිසා වත්මන් ජනාධිපතිවරයාට යුතුකමක් හා වගකීමක් තිබෙනවා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කිරීමට.'
'පළාත් පාලන ඡන්දය කල් දමා ගැනීමට අධිකරණයට ගොස් තිබෙන්නේ මේ ආණ්ඩුවේ අයයි.'

'එදා ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව කාලයේ ඇති වූ 83 කළු ජූලියේදී ඊට විරුද්ධව අපි නැඟී සිටියා. එදා දෙමළ ජාතිකයන් ආරක්ෂා කර ගත්තේ අපේ ගෙවල්වල තබාගෙනයි. අපි අවියකට අත නොතබා තිබුණු අවස්ථාවක 1984දී අපේ තරුණයකු මාතරදී මරා දැමුවා. අපි මර්දනයට එරෙහිව දේශපාලන ව්‍යාපාරයට අවතීර්ණය වුණා. අපිව මර්දනය කරන්න එනකොට අපි මර්දනයට එරෙහිව අවි අතට ගත්තා.'

'අපි 1994න් පසු මේ දක්වා අවුරුදු 23ක් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ නිරතව ඉඳලා තියෙනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපි ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළා. අපි අපේ වැරැදි මෙන්ම නිවැරැදි දේ ගැනත් කතා කරන දේශපාලන ව්‍යාපාරයක්.
'ජනවාරි මස 8 වැනිදා ලබාදුන් ජනමතය ගැන බැලිය යුත්තේ මීළඟ ජනාධිපතිවරණයේදී. අපි දේශපාලන තොත්ත බබ්බු නෙවි. මේ පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලය ජනාධිපතිවරණ ප්‍රතිඵලය හා සංසන්දනය කිරීම වැරැදියි.

මේ වැරැදි ගැසට් නිවේදනය අතේ තබා ගෙන සිටියේ ෆයිසර් මුස්තාපා හිතාමතාමයි. ඇමැතිවරයාට එරෙහිව නඩුවක් තිබියදී ඇමැතිවරයා රට යනවා. මේ වැරැද්ද ඇමැතිවරයා දැන දැනම තමයි ගැසට් නිවේදනය ගැහුවේ. ඔහු වැරැදි ගැසට් නිවේදනයක් ගහලා මේ නඩුවට පිඹුරුපත් සැකැසුවා.
'කෙටිකාලීනව ගහන ගේම්වලින් රටේ දේශපාලනය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ කුමන්ත්‍රණය පරාජය කරන්න ඕන.'

'මේ නඩුව ඉල්ලා අස්කරගන්න. සමහරු කැමැති මේ ප්‍රශ්නය පාරෙදි බේරගන්න නම්, අපි ලැහැස්තියි ඒක මහ පාරෙදි බේරගන්න. ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් වී තිබෙන මේ අවස්ථාවේ ඕනෑම බලවේගයක් සමඟ එක්වී අපි සටන් කරනවා' ඡන්ද පැවැත්වීමේ සිතියම හකුලා දැමීමට මේ ගන්නා නිර්ලජ්ජිත තක්කඩි උත්සාහය අපි නවත්වන්න ඕනෑ.'

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon