ජනමතය කොල්ල කන පිරිස්වලට අලුත් ව්‍යවස්ථාවක් හදන්න බැහැ

  👤  3274 readers have read this article !
By mawbima 2017-11-22

ජනමතය මංකොල්ලකන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදීන් නොවන පිරිස්වලට මෙරටට අලුත් ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට නොහැකි යැයි නීතිඥ නුවන් වැල්ලන්තුඩාව පවසයි.
ඒ මහතා මේ බව පැවැසුවේ ඊයේ (21දා) කොළඹදී පැවැති 'එළිය' සංවිධානයේ මාධ්‍ය සාකච්ඡාවකදීය.
එහිදී නීතිඥවරයා මෙසේද පැවැසීය.

අලුත් ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු අතුරු වාර්තාවට අපි විරුද්ධ වන්නේ කාරණා 3ක් පදනම් කරගෙනයි. පළමුවැනි කාරණය තමයි ව්‍යවස්ථා වෙනස් කරන්න ජනතාව මේ ආණ්ඩුවට ජනවරමක් ලබා දීලා නැහැ. දෙවැනි කාරණය තමයි මේ ව්‍යවස්ථාව සම්පාදන ක්‍රියාවලිය කරගෙන යන්නේ මේ රට ෆෙඩරල් රාජ්‍යයක් කරන්නයි. අනෙක් කාරණය තමයි රට වෙනුවෙන් ජාතික වැඩසටහනක් කරන්න රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයාට අයිතියක් නැහැ. ඒ නිසයි අපි මෙයට විරුද්ධ වෙන්නේ.

මෛත්‍රිපාල සිරිසේන මහත්මයා ජනාධිපති ධුරයට ඉදිරිපත් වන විට ජනතාවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය තමයි 'මෛත්‍රි පාලනයක්' කියන ප්‍රකාශනය. ඒ ප්‍රකාශනයේ තිබුණා. ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්ථා සංශෝධනයකට යන්නේ නැහැ කියලා. එතුමාට මොන ප්‍රදේශයකින් වැඩි ඡන්ද ලැබුණත් ජනමත විචාරණයකට යෑමේ හැකියාවක් නැහැ. ඒකීය භාවය කියලා කියන්නේ වගන්තියක් නෙවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය තුළ ඒකීය රාජ්‍යයක් කියන දේට නිර්වචනයක් තිබෙනවා. ඒ නිර්ණායකයන්වලට අනුව මෙම මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවේ පැහැදිලිව ෆෙඩරල්වාදී ලක්ෂණ පෙනෙන්නට තිබෙනවා.
මේ වාර්තාව හදලා තිබෙන්නේම ඒකීය භාවය කරදරයක් කියලායි.

ජනාධිපති ධුරයට ඉදිරිපත් වන පුද්ගලයා ඒ ධුරයට ඉදිරිපත් වෙන්නේ තමන්ගේ විධායක බලතල ක්‍රියාත්මක කරන්නයි. ව්‍යවස්ථා සංශෝධනයක් කරලා තමන්ගේ බලතල අඩුකරනවා නම් ඒක කරන්න බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවටයි. ඒ සඳහා වරමක් ඉල්ලිය හැක්කේ පාර්ලිමේන්තු මැතිවරණයකින් පමණයි.

ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා 2/3 බලයක් තිබෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ. නමුත් ව්‍යවස්ථාව වෙනස් කරනවා කියා පාර්ලිමේන්තුවේ සාමාන්‍ය පනතක් සම්මත කරගන්නවත් අවශ්‍ය වන බලය පසුගිය මැතිවරණයේදී මේ එක පක්ෂයකටවත් ලැබුණේ නැහැ. ගිය මැතිවරණයට මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධ වුණාද? එදා 'අලුතෙන් පටන් ගමු රටට පණ දෙමු' කියන ප්‍රතිපත්තියට අනුව සන්ධානයේ මැතිවරණ සටන ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙනුයි. මේ ක්‍රියාවලියේදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ක්‍රියා කලාපය වුණේ කුමක්ද? ඔහු ඒ මැතිවරණයට දායකත්වයක් දුන්නේ නැහැ. අවසාන මොහොතේ ලියුමක් යැව්වා මේ මැතිවරණ ක්‍රියාවලිය කඩාකප්පල් කරන්න.
හන්දියේ පෝස්ටර් ගහපු කොල්ලකුට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනවරමට තිබෙන අයිතිය සිරිසේන මහත්මයට නැහැ. පක්ෂ පුට්ටුකරලා ජනමතය විකෘති කරන්න අයිතියක් එතුමාට නැහැ.

රනිල් වික්‍රමසිංහ මහත්මයා කියනවා මේ කාර්යයට පුළුල් එකඟතාවක් ලැබුණා කියලා. ආසන 106ක් හිමිවුණාම ඒක පුළුල් එකඟතාවක්ද? එයාට පාර්ලිමේන්තුවේ අය - වැය සම්මත කරගන්නවත් ඡන්ද ලැබුණේ නැහැ. මේවා පට්ටපල් බොරු. ලයිට් බිලක්වත් අනුමත කරගන්න බැහැ එයාට. පාර්ලිමේන්තුවේ එහෙම මනුස්සයකුයි මේ රටේ නීති වෙනස් කරන්න හදන්නේ.

94 ඉඳන් එජාප නායකත්වයේ හිටපු රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ ජනතාවගෙන් ජනවරමක් අරගෙන නැහැ. 99 දී එතුමා පරාදයි. 2005දීත් පරාදයි. කවුරුහරි ඉස්සරහට දාගෙන තමයි එයා ඡන්දෙ ඉල්ලුවේ. කවුරුත් එතුමාගේ ඉතිහාසය දන්නවා. 2001දී මේ රටේ 1/3ක් එල්ටීටීඊ සංවිධානයට භාරදුන්නා එතුමා. බුද්ධි අංශ නිලධාරීන් 54ක් පාවා දුන්නේත් එතුමායි. පාර්ලිමේන්තුව ඇතුළේ එතුමාගේ ව්‍යවස්ථා ක්‍රියාවලිය ඉතා තුච්ඡයි.

මේ ළඟදී 2017 අංක 17 දරන පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත ඉදිරිපත් කළා පාර්ලිමේන්තුවට. ඒ කෙටුම්පතේ තිබෙනවා වගන්ති 5ක්. මේ රටේ මහජනතාවට මේ නීති ගැන දැනගන්නට තිබෙන අයිතිය වෙනුවෙන් ඉදිරිපත් කළ ලේඛනයට ඇතුළත් වෙන්නේ එතකොට පිටු 3ක ලේඛනයක්. හැබැයි වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවේ සම්මත කරනවා වගන්ති 27ක ලේඛනයක්. මේක ජනතාව දැක්කාද? සංවාදයකට බඳුන් වුණාද? කිසිම දෙයක් නැහැ.

වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදියෙක් නෙවෙයි. ජනමතය මංකොල්ලකාලා හොරකම් කරන පුද්ගලයෙක්.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා,

අවුරුදු දහස් ගණනක් තිස්සේ ඒකීය රටක්ව තිබූ අපේ රට 13 සංශෝධනයෙන් පළාත් 9කට බෙදුණා. ඒ පනතටත් එදා පක්ෂව හිටියේ රාජිතලා. දේශය බෙදනවා කියන්නේ දේශයට ද්‍රෝහී වීමක්. රාජිතලා වගේ දේශද්‍රෝහීන්ට අපි නිසි කාලය ආවහම රටේ නීතියට අනුව දඬුවම් ලබා දෙනවා. එදාට එයාට පක්ෂ මාරු කරලා බේරෙන්න බැහැ.

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය
ඡායා - සජීව චින්තක කහඳගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon