දරු තිදෙනා එක්ක ඉන්න කටු මැටි පැල කඩා වැටෙන්න ළඟයි

  👤  3358 readers have read this article !
By mawbima 2017-11-22

පාසල් යන දියණියන් දෙදෙනකු සහ සිවු හැවිරිදි කුඩා දරුවකු සිටින හොරොව්පොතාන මැදවච්චිය හන්දියේ ජීවත් වන අඹු සැමි යුවළක් වාසය කිරීමට ස්ථීර නිවාසයක් ගොඩනඟා ගැනීමට නොහැකි වීමෙන් මහත් අසරණ තත්ත්වයකට පත්ව සිටිති.

මෙම යුවළට අයත් අවුරුදු 16 සහ 14 වයස්වල පසුවන දියණියන් දෙදෙනාම පාසල් අධ්‍යාපනය ලබන අතර වැඩිමහල් දියණිය එළැඹෙන 2017 දෙසැම්බර් පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගයටද පෙනී සිටීමට සූදානමින් පසුවන අතර වෛද්‍යවරියක වීමේ අපේක්ෂාවෙන්ද පසුවන්නීය.
මෙම දරුවන්ට ඉතා හොඳින් අධ්‍යාපන කටයුතු කර ගැනීමට ස්ථීර නිවෙසක් නොමැති නිසාත් මූලික පහසුකම් කිසිවක් නැති නිසාත් මහත් දුෂ්කරතාවකට පත්ව ඇතැයි මවුපියෝ කියති.

කටු මැටි ගැසූ කුඩා පැල්පතක දිවි ගෙවන මොවුන් ජීවත් වන්නේ කුලී වැඩ කිරීමෙන් ලැබෙන ආදායමින් බවද ඔවුහු පවසති.
පාසලේ 7 වැනි වසරේ ඉගෙනුම ලබන අනෙක් දියණිය "තයිරොක්සීන්" රෝගය වැලැ½දීම නිසා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටද විශාල වියදමක් දැරීමට සිදු වීම හේතුවෙන් ඇගේ අධ්‍යාපනික කටයුතුද කරගෙන යෑමට පවා අපහසු වී ඇති බවද මවුපියෝ පවසති.
වැසි සමය එළැඹී ඇති මේ දිනවල එම කටු මැටි නිවෙස කඩා වැටීමේ තත්ත්වයක ඇති බවද දක්නට ලැබිණි. ඒ නිසා මෙම අසරණ පවුලට පිහිටක් වීමට දානපතියකු ඉදිරිපත් වේ නම් එය මහත් පින්කමක් වේ.

මෙම අසරණ පවුලට පිහිටක් වීමට කැමැති පින්වතකු හට හොරොව්පොතාන මහජන බැංකුවේ ඇති කේ. ඒ. පද්මාවතී නමින් යුත් අංක 218-2-001-5-00-4618 දරන ගිණුමට ආධාර පරිත්‍යාග කළ හැකි අතර වැඩි විස්තර දැන ගැනීම පිණිස දුරකතන අංක 072-6544437 අමතන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටින බවද පවුලේ ගෘහ මූලිකයා වන කේ. ජී. ලලිත් හේමන්ත මහතා පැවැසීය.

මිහින්තලේ - ර.මු.සු. රත්නායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon