ලීග් ශූර මාස් යුනිචෙලා 20-20 ශූරතාවත් දිනයි

  👤  3371 readers have read this article !
By mawbima 2017-11-21

වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය විසින් සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලැබූ වෙළෙඳ සේවා ප්‍රමුඛ පෙළ පන්දුවාර විස්සයි -20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ලීග් ශූර මාස් යුනිචෙලා පිල සමත් විය.
ටී.එම්. ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත් මාස් යුනිචෙලා පිල පෙරේදා (19) කොළඹ වෙළෙඳ සේවා ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේදී ඩිමෝ පිල ලකුණු 57කින් පැරද වීය.

අවසන් තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් මාස් යුනිචෙලා පිල නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 263ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩිමෝ පිලට සියල්ලන් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 206ක් පමණි. ඒ සඳහා පන්දුවාර 19.4ක් වැය විය.

මාස් යුනිචෙලා පිල වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ ටී.එම්. ඩිල්ෂාන් පන්දු 48කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 9ක් සමඟින් ලකුණු 109ක් රැස් කළේය. ආරම්භක පිතිකරු ටී.එම්. සම්පත් ලකුණු 55ක් රැස් කළ අතර, රමිත් රඹුක්වැල්ල ලකුණු 40ක් රැස් කළේය. ටී.එම්. ඩිල්ෂාන් සහ මහේල උඩවත්ත තෙවැනි කඩුල්ලට ලකුණු 89ක සම්බන්ධතාවක් පැවැත්වූ අතර, ආරම්භක පිතිකරු ටී.එම්. සම්පත් සහ රමිත් රඹුක්වැල්ල පළමු කඩුල්ලට ලකුණු 83ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. රමේෂ් මෙන්ඩිස් ලකුණු 48ට කඩුලු 2ක් දවාලීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩිමෝ පිල වෙනුවෙන් වමත් ආරම්භක පිතිකරු තික්ෂිල ද සිල්වා පන්දු 19කදී හතරේ පහර 5ක් සහ හයේ පහර 7ක් සමඟින් ලකුණු 63ක් රැස් කළේය. තික්ෂිල ද සිල්වා සහ හෂාන් දුමිඳු පළමු කඩුල්ලට ලකුණු 52ක සම්බන්ධතාවත් පැවැත්වූහ. අනුක් ප්‍රනාන්දු ලකුණු 21ට කඩුලු 4ක් දවාලූ අතර, ෆර්විස් මහරුෆ් ලකුණු 36ට කඩුලු 2ක් දවාලීය. පිත්තෙන් දස්කම් දැක්වූ ටී.එම්. ඩිල්ෂාන් පන්දුවෙන් ද දස්කම් දක්වමින් කඩුලු 2ක් දවාලීය.
ටී.එම්. ඩිල්ෂාන් අවසන් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. රමිත් රඹුක්වැල්ල (මාස් යුනිචෙලා) තරගාවලියේ දක්ෂතම පිතිකරු ලෙස සම්මාන ලැබූ අතර, රමේෂ් මෙන්ඩිස් (ඩිමෝ) තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙස සම්මාන ලැබීය.

සිංගර් ශ්‍රී ලංකා සමාගමේ ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරී කේ.ඩී.එස්. කණිෂ්ක, වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමයේ සභාපති රොෂාන් ඉද්දමල්ගොඩ සහ ලේකම් නලීන් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ත්‍යාග ප්‍රදානය සිදු කෙරිණි.

මාස් යුනිචෙලා - 263/4
(පන්දුවාර 20) ටී.එම්. ඩිල්ෂාන් 109, ටී.එම්. සම්පත් 55, රමිත් රඹුක්වැල්ල 40, මහේල උඩවත්ත 23, ෆර්විස් මහරුෆ් නොදැවී 22, රමේෂ් මෙන්ඩිස් 2/48

ඩිමෝ - 206
(පන්දුවාර 19.4) තික්ෂිල ද සිල්වා 63, නිසල තාරක 27, ප්‍රමුද් හෙට්ටිවත්ත 25, කවිෂ්ක අංජුල 21, අනුක් ප්‍රනාන්දු 4/21, ෆර්විස් මහරුෆ් 2/36, ටී.එම්. ඩිල්ෂාන් 2/37
ඉෂාන් රශ්මිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon