දුම්රිය හරස් මඟේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් තිදෙනකු මරුට

  👤  3438 readers have read this article !
By mawbima 2017-11-21

වේයන්ගොඩ - ඉන්දික තුෂාර, උපතිස්ස පෙරේරා

ඊයේ (20දා) උදෑසන 8.30ට පමණ හීන්දෙණිය පට්ටිගොඩ දුම්රිය හරස් මාර්ගයේදී අනුරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය කළ ඉන්ධන ප්‍රවාහන දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් එහි සිටි තිදනකු මියගොස් තවත් අයෙක් බරපතළ තුවාල සහිතව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇත. අනතුරින් රථයේ රියැදුරා එම ස්ථානයේදීම මියගොස් ඇති බව වේයන්ගොඩ පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනකු හා විශ්‍රාමික හමුදා සැරයන්වරයකුª බව පැවසේ. මෝටර් රථය පැදවූ මියගිය විශ්‍රාමික ගුවන් හමුදා සැරයන් වික්‍රමාරච්චිගේ උදය කුමාර 2003 වසරේ සිටම ජාතික බීච් වොලිබෝල් පුහුණුකරු ලෙස කටයුතු කළ අයෙකි. මියගිය එක් කාන්තාවක් ඔබේසේකරපුර, රාජගිරියේ පදිංචි අනෝමා රත්නමාලි පෙරේරා (55) නමැත්තියකි. දැනට වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නේ ඔබේසේකරපුර පදිංචි මාතංග ආරච්චිලාගේ හේමපාල නමැත්තාය. මියගිය අනෙක් කාන්තාව ලොකුරාලලාගේ ධනුෂ්කා තරංගනී (28) නමැති නුවරඑළියේ හාවාඑළිය පදිංචිකාරියකි.

විවාහ මංගලෝත්සවයකට යමින් සිටියදී මේ අනතුර සිදුවී ඇති බව පැවසේ. අනතුර සිදුවී ඇත්තේ දඩගමුව - වටද්දර මාර්ගය දක්වා වැටී ඇති දුම්රිය හරස් මාර්ගයේදීය. රේල් ගේට්ටුවක් නොමැති වුවද විදුලි සංඥා පද්ධතියේ රතුපාට දැල්වෙමින් තිබියදී ඒ ගැන නොතකා වාහනය ධාවනය කිරීම නිසා මෙම අනතුර සිදුවී ඇති බව අනාවරණය වේ.
මෝටර් රථයෙන් තුවාලකරුවන් එළියට ගත් අවස්ථාවේ වායු සමීකරණ යන්ත්‍රය ක්‍රියාත්මක වෙමින් පැවතුණු බවත් අධික ශබ්දය නංවමින් ගුවන් විදුලි යන්ත්‍රයක් ක්‍රියාත්මක වූ බවත් දුම්රියක් පැමිණෙමින් තිබෙන බවට අසල සිටි ජනතාව කෑ ගැසුවද එය ඔවුනට ඇසී නොමැති බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.

වේයන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon