තුන්කල් දක්නා නුවණින් කොල්වින් කියූ කතාව තඹ ‍ෙදායිතුවකට ගනන් ගත්තේ නැහැ

  👤  3450 readers have read this article !
By mawbima 2017-11-21

ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අද කතා කරන්නේ මේ සංශෝධනයටත් වඩා එහා යන කරුණු රැගත් ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා එදා නායකත්වය දුන් පිරිසක් යැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසයි.
ඔහු මේ බව පැවැසුවේ ඊයේ (20දා) බත්තරමුල්ල ආණ්ඩුකාර උප කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
ආණ්ඩුකාරවරයා එහිදී මෙසේද පැවැසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය පිළිබඳ පාර්ලිමේන්තුවේ සහ සියලු ප්‍රධාන පක්‍ෂවල අය කල්පනා කරන්න ඕන මේ රටේ භෞමික අඛණ්ඩතාව, ඒකාග්‍රතාව ආරක්‍ෂා වන ආකාරයේ විධිවිධාන අනුව කටයුතු කරන්න. ඒ නිසා උතුරේ අධ්‍යාපන ඇමැතිවරයා ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප කිරීම වැනි ප්‍රකාශ හා ක්‍රියාවලින්, ඉදිරි කාලයේ ඇතිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලටත් බලපෑමක් ඇතිවේවි කියන එකයි මගේ හැඟීම.

ඒ නිසා ව්‍යවස්ථා සංශෝධනය ඒ සියල්ලත් එක්කයි යන්නේ. ජාත්‍යන්තරයටයි ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕන වෙලා තියෙන්නේ කියලා බොහෝ අය කියනවා. ජාත්‍යන්තරය කියන්නේ කවුද? ජාත්‍යන්තරයේ අපිත් කෑල්ලක්නේ. ජාතියක් නැතිව ජාත්‍යන්තරයක් ඇතිවෙන්නෙ නෑ. ජාත්‍යන්තරය නිර්මාණය වෙන්නේ සියලුම ජාතීන්ගෙන්. එක්සත් ජාතීන්ගේ සංවිධානය හැදිලා තියෙන්නේ අපි ඔක්කොම එකතු වෙලානෙ. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අපි ගියේ අයැදුම්පත්‍ර දාලනෙ. ඉල්ලලනේ නිකං අපිට බලෙන් දුන්නා නෙවෙයිනේ. එතකොට සභාවත්, සංවිධානයත් එක්සත් ජාතීන් අතර එකතු වුණා නම් ඇතිවන ප්‍රශ්නවලට අපි සාකච්ඡා කරන්න ඕන. මුහුණ දෙන්න ඕන.

මේ ව්‍යවස්ථා සංශෝධනයටත් වඩා එහා යන කරුණුත් එක්ක ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න නායකත්වය දුන්නු අයයි අද ඔය ඊට එරෙහිව කතා කරන්නේ. ඩලස් අලහප්පෙරුම, ජී.එල්. පීරිස්, මහින්දානන්ද අලුත්ගමගේ වගේ අද ඔය කෑගහන සියලු දෙනා සුදු නෙලුම් ව්‍යාපාරය ඇතුළේ ඉඳන් මුළු ලංකාව පුරාම ගියා. ගියා විතරක් නෙවෙයි ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරන වෙලාවේ ඉස්සරහ ඉඳන් කතා කළා.

පළාත් සභාව පිහිටුවන වෙලාවෙ කිව්වනෙ රට කෑලිවලට කැඩිලා යනවා කියලා. දැන් පළාත් සභා බෙදලා අවුරුදු විසි ගාණක්නෙ. ඒ පළාත් සභා නිසා රට කෑලිවලට කැඩිලා, කුඩුවෙලා විසිවෙලා යනවා. රට පාවා දෙනවා කිව්ව අය, ඒක නිසා කට කපපු අය, අත කපපු අය අද පළාත් සභාවල මැති ඇමැතිවරු වෙලා මන්ත්‍රිවරු වෙලා ඉන්නවා.
ඒ නිසා ඕන මෝඩයෙක්ට ඕන විදියට හිතන්න පුළුවන්.

කොල්වින් ආර්. ද සිල්වා මැතිතුමා කිව්වා එක භාෂාවක් ඇති වුණොත් රට දෙකඩ වෙනවා. භාෂා 2ක් ඇති වුණොත් රට එකතු වෙනවා කියලා. ඒ තුන්කල් දක්නා ඉසිවර නුවණින් කියපු මහා ප්‍රාඥ කියමන තඹ ‍ෙදායිතුවකට ගනන් ගන්නෙ නැතිව බලපෑම්වලට යටත්වෙලා ඒක එහෙම කළා. පසුව විශාල ප්‍රශ්නයක් ඇති වුණා.
දැන් බලන්න අපේ බුදු දහම තරම් විශ්වාන්තර, ශේ්‍රෂ්ඨ ධර්මයක් මම දන්නෙ නෑ. ඒකට හේතුව ජාතිවාදයට, ආගම්වාදයට, කුලවාදයට විරුද්ධයි. ලිංග භේදයට විරුද්ධයි. සියලුම සත්ත්වයෝ එක හා සමානයි කියන දර්ශනයක්.

අපේ රටේ ජාතික සමඟිය ඇති කරන්න වෙන කාගෙවත් මතවාද අවශ්‍ය නෑ. එහෙව් ආගමෙත් දෙමළ භික්‍ෂුන් වහන්සේ ඉන්නේ කී දෙනාද? දෙමළ විහාරාධිපතිවරු, දෙමළ භාෂාවෙන් බණක් කියන හාමුදුරුවරු කී දෙනාද? මොකක්ද ඒකට හේතුව.

ක්‍රිස්තියානි ආගම ගත්තහම ඒකේ චීන්නු ඉන්නවා. නයිජීරියන්කාරයෝ ඉන්නවා. කාපෙරි ඉන්නවා. සුද්දෝ ඉන්නවා. සිංහල මිනිස්සු ඉන්නවා. ඔක්කොම ඉන්නවා.
පිටරට අයව ගෙනත් අපි මහණ කරනවා. අපේ රටේ දෙමළ අය සම්බන්ධයෙන් එහෙම සිදු වෙන්නේ නෑ. ඇයි ඒ? අපි ඒ ධර්මය ප්‍රචලිත කළාද ඔවුන් අතර. ඒ නිසා සිතා බැලිය යුතු ගැටලුවක් නැද්ද මෙතැන?

හර්ෂනී අර්සකුලරත්න

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon