බැඳුම්කර කොමිසම අගමැතිට ප්‍රශ්න යවලා කලින්ම උත්තර ලියලා එවන්න කියලා

  👤  3457 readers have read this article !
By mawbima 2017-11-21

බැඳුම්කර වංචාවේ ප්‍රධාන වගඋත්තරකරුවකු වන අර්ජුන් ඇලෝසියස් මහතා සමඟ දුරකතන සංවාදයේ යෙදුණු බවට චෝදනා ලැබ සිටින කෝප් කමිටු සාමාජිකයන් පස් දෙනාට, එම සංවාදයන් කෝප් කමිටුව ඉදිරියේ සිදු කළ යුතුව තිබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි.
නැතහොත් ඔවුන් සහ අර්ජුන් අලෝසියස් සමඟ තිබෙන සම්බන්ධකම් පවසා කෝප් කමිටුවේ විමර්ශනවලින් ඉවත්විය යුතුව තිබුණු බවත් ඔවුන් එසේ නොකළේ අර්ජුන් ඇලෝසියස් රැකගැනීමේ වංක චේතනාව නිසා බවත් මන්ත්‍රිවරයා පැවැසීය.

ඊයේ (20දා) පාර්ලිමේන්තුවේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

බැඳුම්කර බෑනාට දුරකතනයෙන් ඇමතුම් දුන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 41 දෙනකු සිටින බවත් ඔවුන් ගැන කතා නොකර පස් දෙනකුගේ නම් පමණක් හෙළි කිරීම හරිම අසාධාරණ බවත් මගේ මිත්‍ර අජිත් පී. පෙරේරා මන්ත්‍රිවරයා හැඬ­­ කඳුළින් පවසනවා අපි දුටුවා. අර්ජුන් ඇලෝසියස් කියන පුද්ගලයාව මම දන්නෙත් නැහැ. දැකලත් නැහැ. නමුත් මන්ත්‍රිවරුන් අර්ජුන් ඇලෝසියස් හෝ කිසියම් පුද්ගලයකු සමඟ කතාකිරීම ප්‍රශ්නයක් නැහැ. මෙතැන ප්‍රශ්නය තිබෙන්නේ කෝප් කමිටුවේ විමර්ශනයක් කරන අතරතුර විමර්ශකයන් ලෙස කෝප් කමිටු සාමාජිකත්වයේ සිටිමින් දුරකතනයෙන් කතා කිරීමයි. සමහරු කියනවා මගේ මොන්ටිසෝරි යාළුවා, බාප්පගේ පුතා, නංගිගේ පෙම්වතා ඇයි අපිට කතා කරන්න බැරිද කියලා. එක්කෝ මේ අය අර්ජුන් ඇලෝසියස් සමඟ කරන කතා කෝප් කමිටුව ඉදිරියේ කළ යුතුව තිබුණා. එසේ නොමැති නම් කෝප් කමිටුවේ විමර්ශන ආරම්භ කරන විට අර්ජුන් ඇලෝසියස් දන්න හඳුනන කෙනෙක්ය කියලා විමර්ශනයෙන් ඉවත් විය යුතුව තිබුණා. මේ දෙකෙන් එකක්වත් නොකළේ අර්ජුන් ඇලෝසියස්ව රැකගැනීමේ වංක චේතනාවෙන් මේ මන්ත්‍රිවරුන් කටයුතු කළ නිසයි.

ආශු මාරසිංහ මන්ත්‍රිවරයා කියනවා ඔවුන්ගේ දුරකතන ඇමතුම්වලට රහසින් සවන්දී තිබෙන බවත්, එය මන්ත්‍රි වරප්‍රසාද කඩකිරීමක් බවත්. මේක පට්ටපල් බොරුවක්. කිසිම මන්ත්‍රිවරයකුගේ දුරකතන ඇමතුම්වලට රහසින් සවන්දීලා නැහැ. ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන්නේ අර්ජුන් ඇලෝසියස්ගේ සහ ඔහුගේ සමීපතමයන්ගේ දුරකතන ඇමතුම් පිළිබඳ සාමාන්‍ය තොරතුරු. ඕනෑම බිල්පතක එම තොරතුරු සඳහන් වෙනවා. අපරාධ පරීක්ෂණයකදී අධිකරණයේ අවසරය ලබාගෙන දුරකතන ඇමතුම්වලට රහසින් සවන්දීම පිළිබඳ ගැටලුවක් නැහැ. වරප්‍රසාදවලට මුවා වෙලා හොරුන්ට හැංගිලා ඉන්න අපි ඉඩ දෙන්නේ නැහැ.

ඒ වගේම ඊයේ තමයි බැඳුම්කර මෙගා ටෙලි නාට්‍යයේ උච්චතම ජවනිකාව රඟදැක්වුණේ. අගමැතිවරයාගෙන් බැඳුම්කර කොමිසමේදී ප්‍රශ්න කළා. එයත් හරි අපූරුවට සිද්ධ වුණේ. අගමැතිට කලින් ප්‍රශ්න පත්‍රයක් යවනවා උත්තර ලියලා එවන්න කියලා. අගමැතිවරයාගෙන් වෙච්ච දේ දැනගන්න බෑ ඒ ආකාරයට. නමුත් මෙතෙක් ප්‍රශ්න ඇසූ අතිරේක සොලිසිටර් ජනරාල් දප්පුල ද ලිවේරා වෙනුවට නීතිපතිවරයා ප්‍රශ්න අහන්න එන බව පැවසුවා. එහි ඇත්ත නැත්ත අපි දන්නේ නැහැ. නමුත් එය සත්‍ය නම් බරපතළ කාරණාවක්. සාක්ෂි කූඩුවට නැග්ගට පසුව අගමැතිවරයාත් සාමාන්‍ය සාක්ෂිකරුවකු බවට පත් වෙනවා. දප්පුල ද ලිවේරාගේ වේග පන්දු යැවීම ඉවත් කරලා මිත්‍ර පන්දු යවන නීතිපති ජයන්ත ජයසූරියව ගෙන්න ගන්නවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි ගාමිණී ලොකුගේ
බැඳුම්කර කොල්ලය සිද්ධ වුණයි කියලා ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ හඬ නැඟුවාම අග්‍රාමාත්‍යවරයා එජාපයේ විනය පරීක්ෂණවලට සහභාගි වන නීතිඥවරු පිරිසකගෙන් යුත් කමිටුවක් පත් කරලා මෙහි කිසිම වරදක් නැති බවට වාර්තාවක් සකස් කරලා පාර්ලිමේන්තුවට භාර දුන්නා.

එජාපයෙන් පත් කළ කෝප් සාමාජිකයන් අරක වැරැදියි මේක වැරැදියි කියමින් ෆුට් නෝට් යෙදුව නිසා. ඒකාබද්ධ විපක්ෂයේ සහ රටේ ජනතාවගේ උද්ඝෝෂණ හමුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සිදුවුණා ජනාධිපති කොමිසමක් පත් කරන්න. කොමිෂන් සභාව හරහා මේ වනවිට සෑම දෙයක්ම හෙළිවෙලා ඉවරයි.

ඉෂාරා සිල්වා
ඡායාරූප : සරත් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon