ඡන්දය කල් දැමීමට පෙත්සම් ඉදිරිපත් කරවීම රාජ්‍ය නායකයකුවන මෛත්‍රිට ගැළපෙන්නේ නැහැ

  👤  3461 readers have read this article !
By mawbima 2017-11-21

ශ්‍රී ලනිප සාමාජිකයන් හරහා ඡන්දය කල් දැමීමට පෙත්සම් ඉදිරිපත් කරවීම රාජ්‍ය නායකයකු ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට කිසිසේත් නොගැළපෙන ක්‍රියාවක් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.
පළාත් පාලන මැතිවරණයට පැවැති සියලු බාධා ඉවත් කර මැතිවරණයට දින නියම කර තිබියදීත් මෙවැනි ක්‍රියාවක් සිදු කිරීම තුළ පැහැදිලි දේශපාලන අරමුණක් පවතින බව ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දෙයි.

ඔහු අවධාරණය කළේ විවිධ උප්පරවැට්ටි යොදමින් මැතිවරණය කල් දැමීමට මෛත්‍රිපාල සිරිසේන ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සිදු කරනු ලබන 'සෙල්ලම' වහාම නැවැත්විය යුතු බවත් එසේ සිදුකර ගමේ පාක්‍ෂිකයා මුණගැසීමට කිසිසේත් බලාපොරොත්තු නොවිය යුතු බවත්ය.
ජවිපෙ මේ වන විට අපේක්‍ෂකයන් තෝරා පත්කර අවසන් අතර ඔවුන් දැනුවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි පවසන ඒ මහතා කියා සිටියේ ඉදිරි පළාත් පාලන මැතිවරණයෙන් විශාල ජයග්‍රහණයක් ලැබිය හැකිවනු ඇති බවත්ය.

සිල්වා මහතා මේ බව පැවැසුවේ ඊයේ (20දා) සිය පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
ඒ මහතා මෙසේද කීය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තිබූ සියලු බාධා අවසන් වී තිබෙනවා. ඡන්දය තියන්න ලෑස්ති වෙලා තියෙද්දී 6 දෙනකු විසින් පෙත්සම් ඉදිරිපත් කරලා තියෙනවා මැතිවරණය කල් දාන්න කියලා. ඒ හයෙන් පස්දෙනෙක්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෛත්‍රි කණ්ඩායමට අයත් අය. මේ අය ඉදිරිපත් කරන කරුණු ඇත්ත නම් ඔවුන්ට ඒවා ඉදිරිපත් කරන්න විශාල කාලයක් තිබුණා, අධිකරණයට යන්න. ඡන්දය ඔන්න මෙන්න කියලා මේ වගේ දෙයක් කළේ දේශපාලනික අරමුණකට බව ඉතා පැහැදිලියි.
ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්‍ෂය, මහින්ද රාජපක්‍ෂ මහතාගේ කණ්ඩායම, වගේම විවිධ සංවිධාන මීට එරෙහිව නඩු මඟට බැස්සත් ශ්‍රී ලනිපය පමණයි ඉදිරිපත් නොවුණේ. අර පුහුල් හොරා කරෙන් දැනේ වගේ මේ පෙත්සම් 6න් කවුද හොරා කියලා පැහැදිලියි.

මේ මැතිවරණය ටිකක් විශේෂයි. ආණ්ඩුව මේකට කැමැති නෑ. මෛත්‍රි මහත්තයා ඡන්දෙ තියන්න කැමැති නෑ. මෛත්‍රි කණ්ඩායමයි, මහින්ද කණ්ඩායමයි එක පක්‍ෂයේ ඉන්නවා. ඒ පක්‍ෂය බෙදෙනවාට කැමැති නෑ. මෛත්‍රි මහත්තයා වෙනම ඡන්දය ඉල්ලුවොත් රටේ ජනතාව දැන ගන්නවා ඔහුට තියන ඡන්ද ප්‍රමාණය කොපමණද කියලා. ලක්‍ෂ 62 එකතු වුණේ විවිධ පක්‍ෂවල ඡන්ද එකතුවෙන් මේ ප්‍රතිඵලයට මෛත්‍රි ප්‍රමුඛ ශ්‍රී ලනිපය බයයි. ඒ හින්දා ජනතාවගේ ඡන්ද අයිතිය කොල්ලකන්න හදනවා. අපි එයට ඉඩදිය යුතු නෑ.
දැන් නිමල් සිරිපාල, ලසන්ත අලගියවන්න, සරත් අමුණුගමගේ කමිටුවක් පත් කරලා තියෙනවා සමඟි සාකච්ඡා පවත්වන්න කියලා. ඒකට මේ අයට කාලය ඕනෑ. මේක සදාචාර විරෝධියි. ඒ වගේම රාජ්‍ය නායකයකුට කිසිසේත්ම නොගැළපෙන ක්‍රියාවක්. මෙවැනි පෙත්සමක් ඉදිරිපත් කිරීම තුළ වරදක් තිබෙනවා. මෙය නිෂ්ප්‍රභ කළ යුතුයි කියන අරගලයේ අපි ඉන්නවා. මෛත්‍රි මහත්තයා මොන උප්පරවැට්ටියක් කරලා හරි මේ ඡන්දය කල් දාන්න හදනවා නම් ඊට එරෙහිව අපි පාරට බහිනවා.

ඒ වගේම ඡන්දය කල් දාන්න උත්සාහ කරන අයට ජනතාවගේ ඡන්ද ඉල්ලලා ගම්වලට යන්න බැරි තත්ත්වයක් උදාවෙනවා. මේ පාලකයෝ අවාසි නම් ඡන්ද කල් දානවා. වාසි නම් තියනවා. ව්‍යවස්ථාවට අනුව නෙමේ මේ කටයුතු සිද්ධ වෙන්නේ.

ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේදී මේ වගේ ඡන්ද කල් දාන්න කටයුතු සිදුවුණා. මහින්ද මහත්තයාගේ කාලේ ජේ‍යාතිෂය මුල් කරගෙන ඡන්ද කලින් තිබ්බා. මේ පළාත් පාලන මැතිවරණය පවත්වන්න තිබුණේ 2015දී. මේකට විෂය භාර ඇමැතිගෙ උදවු තියෙනවාද කියලා අපිට සැකයක් තියෙනවා.
එහිදී මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්න සහ පිළිතුරු මෙසේය.

ජවිපෙට පොල් ටොක්කක් අනින්න ඕන කියලා මන්ත්‍රි විමල් වීරවංශ කියනවා.
මං හිතන්නේ වීරවංශ ගැන කතා කරලා කාලය අපතේ හරින එක අපරාධයක්. විමල්ගේ සිහිබුද්ධිය ගැන පරීක්‍ෂා කළ යුතුයි. ඔහුම තමයි ජනාධිපතිවරයාට සිරිසේන කියලා එදා කතා කරලා අද ජනාධිපතිතුමා කියන්නේ. වීරවංශ කිව්වෙ කුරුඳුවත්තෙ ලංසි පැපොල්වලට වඩා පොළොන්නරුවෙ බණ්ඩක්කා හොඳයි කියලා. අනුන්ට අපහාස කිරීම ජීවිතේ කරගත්තු තක්කඩි දේශපාලනඥයෙක් මේ.

අනුරාධා හේරත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon