නිලධාරීන්ගේ නොසැලකිල්ලෙන් මාස 11ක් පාසල් ගිය දරුවාට පාසල අහිමි වෙලා

  👤  3444 readers have read this article !
By mawbima 2017-11-21

හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි

හුංගම විජයබා ජාතික පාසලේ මේ වසරේ පළමු වසරට ළමයින් ඇතුළත් කර ගැනීමේදී සම්මුඛ පරීක්‍ෂණයේදී ලකුණු එකතු කිරීමේදී විදුහලේ සිදු වූ ප්‍රමාද දෝෂයක් නිසා මාස එකෙළෙහක් (11) පාසල් ගිය තම දරුවා පාසලෙන් ඉවත් කිරීමට විරෝධය පළකරමින් දරුවාද සමඟ මවුපියන් සහ ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව පාසල ඉදිරිපිට ඊයේ (20දා) විරෝධතාවක නියැළිණි.

වී.ජී. අකේෂ් ඉඳුවර නමැති එම දරුවාගේ මවුපියන් සහෝදර පදනම යටතේ පාසලට දරුවන් ඇතුළත් කිරීමේදී අයැදුම්පත් යොමු කර සම්මුඛ පරීක්‍ෂණයට පෙනී සිට ඇති අතර පසුව විදුහල මඟින් දරුවා පාසලට ඇතුළත් කර ගැනීම සඳහා තෝරාගෙන ඇති බව ද දන්වා හුංගම ජාතික පාසලේ එකල විදුහල්පති විසින් 2016.12.20 දින ලිපියක් ද යවා තිබේ.

ඒ අනුව මේ දරුවා එම පාසලට ඇතුළත් කර පළමු ශේ‍ර්ණියේ බී පන්තියේ ඉගෙනුම ලබමින් සිට තිබේ. ඒ අතරතුර පාසලේ විදුහල්පති විසින් එම දරුවා පාසලට ඇතුළත් කර ගැනීමේදී සම්මුඛ පරීක්‍ෂණයේදී ලබාගත් ලකුණු එකතු කිරීමේදී ඇති වූ ප්‍රමාද දෝෂයක් නිසා ලබාගත් ලකුණු 32ක් 62ක් ලෙස අවසන් ලේඛනයේ සඳහන් වී ඇති බවත් එම පදනම යටතේ කඩයිම් ලකුණු 61ක් වූ අතර එම දරුවා පාසලට තෝරා ගත් බව දැන්වූ බවත් දරුවාගේ ඇතුළත්වීම සම්බන්ධයෙන් විරෝධතා ඇති වූ නිසා ඒ ගැන සොයා බැලීමේදී ඉහත ප්‍රමාද දෝෂය අනාවරණය වූ නිසා ගත යුතු ක්‍රියාමාර්ග ගැන උපදෙස් අධ්‍යාපන අධ්‍යක්‍ෂ (ජාතික පාසල) වරයා හට විදුහල්පතිවරයා විසින් දන්වා තිබේ.

පසුව එයට පිළිතුරු වශයෙන් හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලයෙන් දන්වා ඇත්තේ දරුවා ආසන්න වෙනත් පාසලකට යොමු කරන ලෙසය. එහෙත් මාස 11ක පමණ කාලයක් හුංගම විජයබා ජාතික පාසලේ ඉගෙනුම ලැබූ තම දරුවා වෙනත් පාසලකට ඇතුළත් කිරීමේදී දරුවාට සිදුවන අපහසුතාව ගැන සලකා ඒ සඳහා අකැමැති වී තිබේ.
අධ්‍යාපන බලධාරීන්ගෙන් සිදුවූ මේ වැරදීම නිසා තම දරුවා අපහසුතාවට ලක්වී ඇති බවත් තමන්ගේ වැඩිමහල් දරුවා එම පාසලේම ඉගෙනුම ලබන බැවින් මේ පාසලේම දරුවා හට අධ්‍යාපනය ලැබීමට අවකාශය සලසා දෙන ලෙස දරුවාගේ පියා වන විදානගමගේ අජිත් මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon