වවුනියාව ජුම්මා මුස්ලිම් පල්ලිය ඉදිරියේ කඩ පෙළක් හදිසියේ ගිනි අරන්

  👤  3396 readers have read this article !
By mawbima 2017-11-21

මුලතිව් - ශෂිකුමාර් සහ

ඕමන්ත - ශේෂලා අමරසිංහ, වවුනියාව - රසාදි චතුරංගි ගමගේ, ලක්ෂ්මි ජයකොඩි
වවුනියාව ජුම්මා මුස්ලිම් පල්ලිය ඉදිරිපිට පිහිටි වෙළෙඳසල් කිහිපයක ඊයේ (20දා) අලුයම ඇති වූ හදිසි ගිනි ගැනීමක් හේතුවෙන් වෙළෙඳසල් දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර තවත් වෙළෙඳසල් දෙකකට හානි සිදුව ඇත.

ඊයේ අලුයම 1ට පමණ ඇති වූ මේ ගින්න පිළිබඳව වෙළෙන්දන් කියා සිටියේ කිසියම් පිරිසක් විසින් අදාළ වෙළෙඳසල් දෙසට පෙට්රල් බෝම්බයක් විසි කොට පලා ගිය බවයි.
එහෙත් වවුනියාව පොලිසිය කියා සිටියේ අදාළ ගිනි ගැනීම් සම්බන්ධයෙන් නිශ්චිතව තවමත් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් වෙළෙඳසලේ වූ විදුලි කාන්දුවක් හේතුවෙන් මේ ගිනිගැනීම සිදු වන්නට ඇති බවත් ගින්නට හේතුව සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවයි.

ගින්න ඇති වීමත් සමඟ වවුනියාව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය විසින් ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න මැඬපැවැත්වීමට පියවර ගෙන ඇත. ගින්නෙන් විනාශ වී ඇත්තේ බෑග් අලෙවි කරන වෙළෙඳසල් දෙකකි.

මුස්ලිම් පල්ලිය ඉදිරිපිට පිහිටා ඇති එම වෙළෙඳසල් ඉවත් කරන ලෙසටද දැනුම් දී ඇති අතර එහි කිසියම් කණ්ඩායමක් විසින් මේ ගිනි තැබීමට වගකිව යුතු බවට වෙළෙන්දන් කියා සිටි සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කොට ඇත.

වවුනියාව නගරයේ ඇති ව්‍යාපාරික ස්ථාන කිහිපයක් ගිනිතබා විනාශ කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වා සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon