ජාතික කොඩිය ඔසවන්න බෑ කියු ඇමැති කන්දයියාට එරෙහිව නීතිපති උපදෙස් පතනවා

  👤  3435 readers have read this article !
By mawbima 2017-11-21

හර්ෂනී අර්සකුලරත්න

උතුරු පළාත් අධ්‍යාපන ඇමැති කන්දයියා සර්වේශ්වරන් ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් තමා නීතිපති උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවත් එසේ නීතිපති උපදෙස් පතන්නේ ඉදිරි ක්‍රියාමාර්ගවලදී ශක්තිමත්ව ඊට මුහුණදීමට බවත් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසයි.
මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ලැබෙන තීන්දුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණක් නොව අනෙකුත් පළාත් සියල්ලටත්, පළාත් සභා ඇමැතිවරු සම්බන්ධයෙනුත්, ජාතික ධජය සම්බන්ධයෙනුත් ඉතාමත් තීරණාත්මක තීන්දුවක් වීමට ඉඩ ඇති බවද හෙතෙම අවධාරණය කළේය.

ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20දා) බත්තරමුල්ල ආණ්ඩුකාර උප කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ අනුව ඊයේ (20දා) දිනය ඇතුළත තමා නීතිපති හමු වී නීති උපදෙස් ලබාගෙන මේ සම්බන්ධ ඉදිරි කටයුතු කරගෙන යන බවද ඔහු පැවැසුවේය.
මේ සිදුවීම සම්බන්ධයෙන් එකතු කරගත් වීඩියෝ දර්ශන, පුවත්පත්වල පළ වූ ලිපි, සර්වේශ්වරන් ඇමැතිවරයා පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවේ තොරතුරු සියල්ල නීතිපති වෙත යොමු කරන බවද ආණ්ඩුකාරවරයා පැවැසුවේය.

එසේ නීතිපති උපදෙස් ඔස්සේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට හේතු වශයෙන් ආණ්ඩුකාරවරයා දන්වා සිටියේ මේ ක්‍රියාමාර්ග මෙතැනින් අවසන් නොවන බවත් ඊට එරෙහිව නෛතික ක්‍රියා පටිපාටීන් තව තවත් ඉදිරියේදී ඇති විය හැකි නිසා ඒවා සඳහා ශක්තිමත්ව මුහුණදීමටත් එහිදී එළැඹෙන තීන්දුවල නෛතික ස්වරූපයේ ශක්තිමත් භාවය දැඩි කරගැනීමටත් යැයිද හෙතෙම පැවැසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා පවසා සිටියේ උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී.වී. විග්නේශ්වරන් පවා මේ ගැන ප්‍රකාශ නිකුත් කර ඇති බවත් ඔහු පවසා ඇත්තේ තමාට මෙවැනි අවස්ථාවකට මුහුණදීමට සිදුවුවහොත් එවැනි අවස්ථාවන් තමා මඟහැර යනවා කියා යැයිද ආණ්ඩුකාරවරයා පැවැසීය.
ජාතික ධජය සම්බන්ධව උතුරු පළාත් මහ ඇමැතිටත්, ටී.එන්.ඒ. සංවිධානයටත් තවත් අයටත් ගැටලු ඇති බවද ඔහු පැවැසීය.
කෙසේ වෙතත් මාධ්‍ය හමුව අතරතුරදී ආණ්ඩුකාරවරයා බුදු දහම ද්‍රවිඩයන් අතර ප්‍රචලිත වීම සම්බන්ධව කරුණු දැක්වීමකට යෑමේදී මාධ්‍යවේදීන් අතර මතභේදාත්මක වචන හුවමාරුවක් ඇති විය.

එහිදී ආණ්ඩුකාරවරයා කිතුනු දහම හා බුදු දහම ලෝකයේ ප්‍රචලිත වුණු ආකාරයත් රට තුළ ඒවා ප්‍රචලිත වුණු ආකාරයත් විග්‍රහ කිරීමේදී ද්‍රවිඩයන් අතර පැවිදි කිරීම සිදු නොකිරීම සම්බන්ධව අපේ වරදක් ඇති බවත් ඔවුන් අතර බුද්ධ ධර්මය ප්‍රචලිත නොකරන්නේ ඇයි දැයි පැවැසීමත් සමඟ මාධ්‍යවේදිනියක හා ආණ්ඩුකාරවරයා අතර තියුණු වචන හුවමාරුවක් සිදුවිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon