තෙල් හිඟය බොරුවක්: ඛ්ධ්ච්යට පැමිණිළි කළා

  👤  3384 readers have read this article !
By mawbima 2017-11-21

රට තුළ ඉන්ධන හිඟයක් පවතින බවට පළවූ අසත්‍ය ප්‍රචාර ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළ බවත්, වරදකරුවන්ට කඩිනමින් දඬුවම් ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවත්, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ඛනිජ තෙල් සංස්ථාවේ ඊයේ (20දා) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවැසීය.
රටේ තෙල් හිඟයක් ඇති බවට කෙටි පණිවිඩවලින් කෙරුණු ප්‍රචාරයත් සමඟ ඊයේ උදෑසන සිට කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවක ඉන්ධන හල් අසල පෝලිම් ගැසී තිබෙනු දක්නට ලැබිණි.

තෙල් තොග තිබියදී ඒවා බෙදාහැරීමට කටයුතු නොකළ ඉන්ධන පිරවුම්හල් පිළිබඳව තොරතුරු වාර්තා වූ බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා එම ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බවත් හෙතෙම අවධාරණය කළේය. ඉන්ධන ප්‍රවාහනය කරනු ලබන පෞද්ගලික බවුසර් හිමියන්ට නිසි පරිදි ගෙවීම් නොකෙරෙන බැවින් ඉදිරියේදී වර්ජනයකට යොමුවීමට සූදානමක් පවතින බව මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමට ප්‍රතිචාර දක්වමින් අර්ජුන රණතුංග මහතා කියා සිටියේ ජනතාව අපහසුතාවට පත් කිරීමට ඔවුන් යොමුවන්නේ නම් එම බලපත්‍රද අහෝසි කිරීමට කටයුතු කරන බවයි.

සති දෙකකට අධික කාලයක් බෙදාහැරීමට තෙල් සංචිත පවත්වාගෙන යන බවත්, ඉදිරි සති දෙක තුළදී තවත් තෙල් නැව් තුනක් දිවයිනට ළඟා වෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එබැවින් මෙවැනි තත්ත්වයක් තුළ අසත්‍ය ප්‍රචාරයන්ට හසු නොවී තම දෛනික කටයුතු සාමාන්‍ය ලෙස පවත්වාගෙන යන ලෙසටද අර්ජුන රණතුංග මහතා එහිදී ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon