හංගන්න දෙයක් නෑ: වැරැදි විය හැකියි: යහපාලනය ඉදිරියටම යනවා

  👤  3510 readers have read this article !
By mawbima 2017-11-21

සැඟවීමට කිසිවක් තමන්ට නැතැයි පවසන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යම් යම් වැරැදි අඩුපාඩු විය හැකියි. නමුත් යහපාලනය ඉදිරියට ගෙන යනවායි අවධාරණය කරයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව පිළිබඳව සොයා බලන ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම වෙත ඊයේ (20දා) ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
රට තුළ මේ වන විට ඇති වී තිබෙන මූල්‍යමය හානිය පිළිබඳව පැහැදිලි කිරීමක් කිරීමට මට අද දින අවස්ථාව ලැබුණා. මම විශේෂයෙන්ම කියන්න කැමැතියි මේ සිදුවීම පිළිබඳව මමත් අපේ පක්ෂයේ සභාපති, ලේකම් ඇතුළු සෙසු අමාත්‍යවරුන් කිසිම බියක් නොදක්වා මේ සඳහා ඉදිරිපත්ව සිටින බව.
අපි යහපාලනය ඉදිරියට ගෙන යනවා. මේ සිදුවීමේදී සඟවන්න කිසිවක් නැහැ. වැරැදි අඩුපාඩු විය හැකියි. නමුත් යහපාලනය ඉදිරියට ගෙන යනවා.
වික්‍රමසිංහ මහතා තම ප්‍රකාශය ලබාදීමට බැඳුම්කර කොමිසම වෙත පැමිණියේ පෙ.ව. 9.50ට පමණය. පැයකුත් විනාඩි 15ක කාලය තුළ අග්‍රාමාත්‍යවරයා කොමිසම වෙත කරුණු ඉදිරිපත් කරනු ලැබීය.

මේ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා සමඟින් එජාප මහලේකම් අමාත්‍ය කබීර් හෂීම්, මලික් සමරවික්‍රම, දයා ගමගේ, සාගල රත්නායක, නවීන් දිසානායක, අකිල විරාජ් කාරියවසම්, ගාමිණී ජයවික්‍රම, වජිර අබේවර්ධන, අර්ජුන රණතුංග, ජෝන් අමරතුංග, රංගේ බණ්ඩාර, රාජිත සේනාරත්න, පී. හැරිසන්, මුජිබර් රහුමාන්, තිලක් මාරපන, එරාන් වික්‍රමරත්න, මංගල සමරවීර, වඩිවේල් සුරේෂ්, චන්ද්‍රාණි බණ්ඩාර, ගයන්ත කරුණාතිලක, මනෝ ගනේෂන්, ස්වාමිනාදන්, රිෂාඩ් බදියුදීන් ඇතුළු ඇමැතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරු තිස් පහකට අධික පිරිසක් සහභාගි වී සිටියහ.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය නවීන් දිසානායක මහතා මෙසේ කීය.
අග්‍රාමාත්‍යවරයාගෙන් කරුණු කිහිපයක් පිළිබඳව ප්‍රශ්න කළා. නීත්‍යනුකූලව පැහැදිලිව එතුමාගේ දිවුරුම් ප්‍රකාශයේ කරුණු පිළිබඳව අද පැහැදිලි කිරීමක් කළා. අද පක්ෂයක් ලෙස එතුමා සමඟ අපි සිටිනවා. එතුමා පිළිබඳව සම්පූර්ණ විශ්වාසය අපිට තියෙනවා. අගමැතිවරයෙක් ලෙස තම කැමැත්තෙන්ම පැමිණ මේ ප්‍රශ්නවලට පිළිතුරු දීම පිළිබඳව අපගේ ප්‍රශංසාව එතුමාට පුද කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් මෙසේ කීය. අද අගමැතිතුමා ඇවිත් ප්‍රශ්නවලට උත්තර දුන්නා. ඉතුරු ටික නීතිය බලා ගනීවි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිසම වෙත පැමිණීමට පෙර බැඳුම්කර කොමිසම අවට දැඩි ආරක්ෂක රැකවල් ලා තිබුණු අතර අග්‍රාමාත්‍යවරයාට සහාය පළකරනු පිණිස පාක්ෂිකයන් පිරිසක්ද කොමිසම අවට රැස්ව සිටිනු දක්නට ලැබිණි.

අග්‍රාමාත්‍යවරයා කොමිසමෙන් පිටවී වන විට එම පිරිස ජය ඝෝෂා නඟන්නටද වූහ.
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනපති කොමිසමට ප්‍රකාශයක් ලබාදීමට ඊයේ (20දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර කොමිසම වෙත පැමිණි අයුරු.

ඡායා - තිළිණ ප්‍රනාන්දු, දුමිඳු වනිගසේකර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon