තරගය ලංකාවෙන් ගිලිහෙන ලකුණු

  👤  3335 readers have read this article !
By mawbima 2017-11-20

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දියාව අතර කොල්කටාහි ඊඩ්න් ගාඩ්න් පිටියේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය නිමාවන විට දෙවැනි ඉනිම පන්දුවට පහර දෙන ඉන්දියානු කණ්ඩායම එක් කඩුල්ලකට ලකුණු 171ක් ලබා සිටියේ ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් රැස්කළ ලකුණු 294ට පිළිතුරු සපයමිනි.
ඒ අනුව මේ වනවිට ඉන්දියානු කණ්ඩායම ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 49ක් ඉදිරියෙන් සිටින අතර, ඔවුනට කඩුලු 9ක් ඉතිරිව ඇත.
ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 122ක් පසුපසින් සිට දෙවැනි ඉනිම ඇරැඹූ ඉන්දීය පළමු කඩුල්ල වෙනුවෙන් සාර්ථක සබඳතාවක් එක්කිරීමට ලෝකේෂ් රාහුල් (නොදැවී 73) හා ෂිකර් දවාන් (94) සමත්වූ අතර, දෙදෙනා අතර ලකුණු 166ක සබඳතාවක් වාර්තා වීමද විශේෂත්වයකි.

ඉන්දියාව පළමු ඉනිමට ලබාගත් ලකුණු 172ට පිළිතුර සැපයූ ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා කඩුලු 4කට ලකුණු 165ක් ලබා සිටියද ඊයේ දිනයේ පළමු කඩුල්ල ලෙස (ඉනිමේ පස්වැනි කඩුල්ල) නිරෝෂන් දික්වැල්ල ලකුණු 35කට දැවී යෑමත් සමඟ ශ්‍රී ලංකා කඩුලු එකින් එක බිඳ වැටුණි. මුළු ලකුණු 201දී ශ්‍රී ලංකා ඉනිමේ 6වැනි කඩුල්ල ලෙස දසුන් ශානක කිසිදු ලකුණක් ලබාගැනීමට පෙර දැවී යද්දී එම ලකුණු ප්‍රමාණයේදීම නායක චන්දිමාල් ලකුණු 28කටත් අහිමි වනවිට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 7කට ලකුණු 201ක් ලෙස දැක්විණි.

මේ අවස්ථාවේදී දිල්රුවන් පෙරේරාට එකතු වූ රංගන හේරත් වේගවත් ඉනිමක නිරත වෙමින් අටවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 43ක සබඳතාවක් එක් කළේය. පන්දු 34කට මුහුණ දී ලකුණු 5කට පෙරේරාගේ ඉනිම නිමාවුවද එක් අන්තයක් ආරක්‍ෂා කරගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව වේගයෙන් ඉහළ දැමීමට හේරත් සමත්විය.
සුරංග ලක්මාල් සමඟින් 9වැනි කඩුල්ලට ලකුණු 46ක සබඳතාවක් එක්කරමින් සිටියදී හේරත් ලකුණු 67කට දැවී ගිය අතර, එය ඔහුගේ ටෙස්ට් දිවියේ තෙවැනි අර්ධ ශතකයද විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon