ඇලෝසියස්ගේ දුරකතන ඇමැතුම් නිසාවෙන් මැතිසබයත්් උණුසුම් වේ

  👤  3374 readers have read this article !
By mawbima 2017-11-20

පාර්ලිමේන්තුවේ මේ දිනවල පැවැත්වෙන්නේ 2018 අය - වැය කාරක සභා අවස්ථාවේ විවාදයයි. කාරක සභා අවස්ථාවේ විවාදයේදී සාකච්ඡා කෙරෙනුයේ ඒ ඒ අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳවයි.

නමුත් පසුගිය බ්‍රහස්පතින්දා ඒකාබද්ධ විපක්ෂය මඟින් දේශපාලන බෝම්බයක් පාර්ලිමේන්තුවට අත්හැරියේය. කාංචන විජේසේකර, නාමල් රාජපක්ෂ යන මන්ත්‍රිවරුන් දෙදෙනා අත්හැරිය මෙම දේශපාලන බෝම්බයත් සමඟ පාර්ලිමේන්තුවේ පමණක් නොව දේශපාලන ක්‍ෂේත්‍රය තුළ මේ වන විට සාකච්ඡා කෙරෙන්නේ එම දේශපාලන බෝම්බය
පිළිබඳවයි.

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) සාමාජිකයන් පිරිසක් අර්ජුන් ඇලෝසියස් මහතාට දුරකතන ඇමැතුම් ලබාගැනීමේ සිද්ධිය මෙම දේශපාලන බෝම්බයයි.

මේ ගැන බොහෝ දෙනකුගේ අවධානය යොමු වූයේ ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පසුගිය සෙනසුරාදා පාර්ලිමේන්තුවේදී සිදුකළ කතාවේදීය.
එදින විවාදයට ගනු ලැබුවේ රාජ්‍ය
ආරක්ෂක අමාත්‍යාංශය, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය, නීතිය හා සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශවල වැය ශීර්ෂයි.
එම නිසා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාත් එදින පාර්ලිමේන්තුවට පැමිණ සිටියේය.
විමල් වීරවංශ මන්ත්‍රිවරයා කතාව ආරම්භ කිරීමට පෙරම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැතිසබයට පැමිණ අසුන්ගෙන සිටිනු දක්නට ලැබිණි. ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මැතිසබයේ පෙනෙන්නට සිටියේ නැත.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාද ජනාධිපතිවරයාගේ ආසනය ආසන්නයේ ආසනයක අසුන්ගෙන විමල් වීරවංශ මන්ත්‍රිවරයාගේ කතාවට සවන්දුන්නේය. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරිපෙළ කැබිනට් අමාත්‍යවරු පිරිසක්ද වීරවංශ මහතාගේ කතාවට අවධානය යොමු කරමින් සිටියහ.
එම ඇතැම් කරුණු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කොළයක සටහන් කරගන්නා ආකාරයක්ද දක්නට ලැබිණි.
සමහර කරුණු ගැන අසල සිට රුවන් විජේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා සමඟ කතාබස් කළ ජනාධිපතිවරයා එම කඩදාසි කොළය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් රැඳී සිටින කුටියක් වෙත සේවකයකු හරහා යොමු කිරීමට කටයුතු කරන ආකාරයක්ද දක්නට ලැබිණි.
ඉන් පසුව විමල් වීරවංශ මන්ත්‍රිවරයා බැඳුම්කර සිද්ධියට දිගට හරහට පහර දෙන්නට පටන් ගත්තේ අර්ජුන් ඇලෝසියස් මහතාට දුරකතන ඇමැතුම් ලබාදුන් ආණ්ඩුවේ ජනතා නියෝජිතයන්ද සිහිපත් කරමිනි.

'ටයිකෝට් ඇඳගෙන ගහන රොබරිවලට කියන්නේ කුරුඳුවත්තේ රොබරි කියලා. මේ බැඳුම්කර මගඩියත් ටයිකෝට් හැඳ පලඳින කොළඹ 07, කුරුඳුවත්තේ මහත්වරුන්ගේ වැඩක්. දින 100න් අලුත් රටක් කියලා තමයි පටන් ගත්තේ. දින 20න් මහ බැංකුව ශුද්ධයි.
බැඳුම්කර මගඩිය ගැන සෙවීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කිරීම ගැන මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට ස්තුති කිරීමටද විමල් වීරවංශ මන්ත්‍රිවරයා අමතක නොකළේය.
'සාමාන්‍ය කෙනකු තමන්ගේ සුළු වරදකට චෝදනා ලැබුවා නම් පොදු දේපළ පනත යටතේ හිරේ දානවා. කුරුඳුවත්තේ හොරුන්ට ඒ කිසිම දෙයක් නැහැ.
කෝප් කමිටුවට ඒකමතිකව සහයෝගය ලබාදුන්නාලු. එහෙම වුණේ නැහැ. එහෙනම් ෆුට් නෝට් දැම්මේ ඇයි' යනුවෙන්ද විමල් වීරවංශ මන්ත්‍රිවරයා ප්‍රශ්න කළේය.
විමල් වීරවංශ මන්ත්‍රිවරයාගේ කතාවේදී රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ නම සඳහන් වූ අතර රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා රීති ප්‍රශ්නයක් මතුකරමින් ඊට ප්‍රතිචාර දැක්වීය.

'මං මහා සංඝරත්නයට අපහාස කළේ නැහැ. ඒ චෝදනාව වැරැදියි. බැඳුම්කර සටනේදී මාත් ඉන්නේ ඒ සටනත් එක්ක' යනුවෙන් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ජාතික ආරක්ෂාව සහ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කරුණු පැහැදිලි කළ විමල් වීරවංශ මන්ත්‍රිවරයා කියා සිටියේ
පොළොන්නරුවේ ගොවි පුත්‍රයකු වශයෙන් රටට හිතකර තීරණ පමණක් ගැනීමට ජනාධිපතිතුමා ක්‍රියා කළ යුතු බවයි.
මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ මුජිබර් රහුමාන්, සංදිත්් සමරසිංහ ඇතුළු පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනකු 'ආව් ආව් හරිම ෂෝක්. මේ මොකද වෙලා තියෙන්නේ' යනුවෙන් කෑ කෝ ගැසීම් නිසා සභාවේ අවධානය ඒ දෙසට යොමුවිය.
'කුරුඳුවත්තේ ලංසි පැපොල්වලට වඩා පොළොන්නරුවේ බණ්ඩක්කා හොඳයි' යනුවෙන් විමල් වීරවංශ මන්ත්‍රිවරයා ඊට ප්‍රතිචාර දක්වන බව ඒ දෙස බලාගෙන සිටි මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාටද සිනහ ගියේය.

'අනේ හරිම ෂෝක්. එදා අයියෝ සිරිසේන කියලා කිව්වේ' යනුවෙන් මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා කෑ ගසමින් කියා සිටියේය.
'ඇයි? මොකද? ජනාධිපතිතුමා ගැන කතා කරනවාට අකැමැතිද? ජනාධිපතිතුමාටත් දැන් තේරෙනවානේ මේ කලබල වෙලා තියෙන කට්ටිය කවුද? කියලා.' විමල් වීරවංශ මන්ත්‍රිවරයා ප්‍රතිචාර දැක්වීය.

'හරිම පුදුමයි, හරිම ෂෝක්' යනුවෙන් මුජිබර් රහුමාන් මන්ත්‍රිවරයා පැවැසීය.
'මෙයාට නඩු පෝලිමක් තියෙනවා. ඒ නඩුවලින් බේරෙන්න ෂේප් වෙන්න තමයි මේ හදන්නේ' මුජිබර් රහුමාන් මහතා යළිත් කීවේය.
විමල් වීරවංශ, මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් දෙදෙනා අතර සිදුවූ මෙම අදහස් හුවමාරුව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා බලාගෙන සිටියේ සිනහවෙමින්ය.
විමල් වීරවංශ මන්ත්‍රිවරයාගේ කතාවෙන් පසුව දිවා ආහාරය සඳහා මැතිසබයෙහි වැඩකටයුතු පැය භාගයකට අත්හිටුවුණු අතර සියලුම දෙනා දිවා ආහාරය ලබාගැනීමට මැතිසබයෙන් පිටතට පැමිණියහ.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, දයාසිරි ජයසේකර ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් කතා බස් කරමින් පැමිණියේ විමල් වීරවංශ මන්ත්‍රිවරයාගේ කතාව පිළිබඳවයි.
'විමල් පොයින්ට් එකට කතා කළා' යනුවෙන් මෙහිදී කතා බහ සිදුවිය.
රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාද පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපති කාර්යාලයේදී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කළේය.
සිකුරාදා, සෙනසුරාදා පාර්ලිමේන්තුවේ පැවැති කාරක සභා අවස්ථාවේ විවාදවලදී ඒකාබද්ධ විපක්ෂයේත්, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම චෝදනා කළේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාටය.
මහින්ද යාපා අබේවර්ධන, වාසුදේව නානායක්කාර, වෛද්‍ය නලින්ද ජයතිස්ස, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් චෝදනා කර සිටියේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියට රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ඍජුවම වගකිවයුතු බවයි. මේ නිසා අග්‍රාමාත්‍ය ධුරයට අපහාස නොකර රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා අස් විය යුතු බවද ඔවුහු පැවැසූහ.
මේ සෑම අවස්ථාවකදී අගමැතිවරයා වෙනුවෙන් ඉදිරියට පැමිණ පෙනී සිටියේ පාර්ලිමේන්තුවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාය.
රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා සඳුදා බැඳුම්කර කොමිසමට යන්නේ මුළු රටටම ආදර්ශයක් ලබාදෙමින්. අගමැතිතුමාට කිසිම දෙයක් වහන්න ඕන නැහැ. කොමිසම එන්න කියන්නත් කලින් අගමැතිතුමා යන්නේ ස්ව කැමැත්තෙන්. මීට කලින් අගමැතිවරුන් මෙහෙම කොමිෂන්වලට ගිහිල්ලා තියෙනවාද? මේ ආණ්ඩුවේ විනිවිදභාවය ඒකෙන්ම පේනවා' යනුවෙන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයා ප්‍රකාශ කෙළේය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගේ භෝජනාගාරයෙන් දිවා ආහාරය ලබාගෙන එන විට විමල් වීරවංශ මන්ත්‍රිවරයාට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා මුණගැසුණේය.

'ඔන්න මං අගමැතිතුමාට ‍ෙදාස් කිව්වට ඔයාගේ නම් හොඳ කිව්වා' යනුවෙන් විමල් වීරවංශ මන්ත්‍රිවරයා ප්‍රකාශ කළ අතර ඊට කිසිත් නොකියූ රුවන් විජේවර්ධන මහතා විමල් වීරවංශ මහතාගේ පිටට තට්ටුවක් දමාගෙන ගියේය.
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා විවාදයට එක්වෙමින් කියා සිටියේ 'දුරකතන ඇමැතුම් ලබාදුන් සියලුම දෙනා ගැන තොරතුරු එම ඇමැතුම් ලබාදුන් දින හා වේලාවන් සමඟ ලබාදෙන්න' යනුවෙන් අජිත් පී. පෙරේරා නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලීමක් කරන ලදී.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, ජනතා විමුක්ති පෙරුමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා විවාදයට එක් වී කරන ලද කතාවේ ප්‍රධාන මාතෘකාව වූයේද ඇලෝසියස් මහතාට ලබාදුන් දුරකතන ඇමැතුම් පිළිබඳවයි.

'ඇලෝසියස්ට දුරකතන ඇමැතුම් දුන්නයි කියලා හෙළි වුණාට පස්සේ කට්ටිය දැන් එක එක කතා කියනවා. සීයාගේ යාළුවෙක් කියලා එක්කෙනෙක් කියනවා. තව එක්කෙනෙක් කියනවා තාත්තගේ යාළුවෙක් කියලා. තවත් එක් කෙනෙක් කියනවා එකට අඩියක් ගැහුවා කියලා. දැන් ඒ කතා කියලා වැඩක් නැහැ. නම් ගම් හෙළිවුණාට පස්සේ එක එක කතා කියන්න පුළුවන්' යනුවෙන් චෝදනා කළේ අනුර කුමාර දිසානායක මහතාය.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය ආශු මාරසිංහ මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.
'පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ දුරකතන ටැප් කරලා තියෙනවා නම් ඒක ඒ මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද
උල්ලංඝනය කිරීමක්. මේ ගැන වරප්‍රසාද කමිටුවට යොමු කරන්න' යනුවෙන් මහාචාර්ය ආශු මාරසිංහ මන්ත්‍රිවරයා කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

මේ ගැන කතානායකවරයාගේ අවධානයට යොමු කරන බව නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon