වර්තමානයේ බොහෝ අය තානාපතිවරුන් වෙන්නේ පිටරටකට වී සැපසේ විශ්‍රාම සුවයෙන් සිටීමටයි

  👤  3332 readers have read this article !
By mawbima 2017-11-20

වර්තමානයේ සිටින බොහෝ තානාපතිවරු තම තනතුර යොදා ගන්නේ ජීවිතයේ විශ්‍රාම සුවය ගත කිරීමට යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කරයි.
තානාපතිවරුන් ලෙස කටයුතු කරන්නන් ගුණපාල මලලසේකර මහතා වැනි චරිත ආදර්ශයට ගෙන සිය කැපවීම් සිදු කළා නම් ජාත්‍යන්තර සබඳතා දියුණු කර ගනිමින් ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය සහාය ලෝක බලවතුන්ගෙන් ලබාගැනීමට තිබූ බවද ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැති ගුණපාල මලලසේකර සූරීන් ඇගැයීමේ උත්සවයට එක් වෙමිනි.

එහිදී ජනාධිපතිවරයා විසින් මහාචාර්ය මලලසේකර මහතාගේ පිළිරුව වෙත මල්දමක් පලඳවා හරසර දක්වනු ලැබීය.
මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මිය හා ඩබ්ලිව්. ඒ. අබේසිංහයන් අතින් සංස්කරණය වූ 'මහැදුරු ගුණපාල මලලසේකර - පුනරුදයේ පෙරගමන්කරු' ග්‍රන්ථය ගුණපාල මලලසේකර පදනමේ සභාපති විජය මලලසේකර මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.
උත්සව සභාව ඇමැතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් මෙසේද කීය.

මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමා සමඟ මම කතා බහ කළ කෙනෙක්. 1960 දශකයේ මැද භාගයේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සමඟම සමස්ත ලංකා බෞද්ධ ශිෂ්‍ය සමිති සම්මේලනයත් බිහි වී තිබුණා. ඒ සම්මේලනය සංවිධානය වී තිබුණේ ලංකාවේ පාසල්වල සිසුන්ගේ නියෝජනයෙන් මා එවකට පොළොන්නරුව මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙක් වශයෙන් සිටියදී සමස්ත ලංකා බෞද්ධ මහා ශිෂ්‍ය සම්මේලනයේ ශාඛාවක් හැදුවා. එහි වයස අවුරුදු 15ක මා එවකට සභාපතිවරයා ලෙස පත් වුණා. මම තනියම කොළඹ ආවේ ප්‍රථම වතාවට බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේ සමුළුවකටයි.

බෞද්ධ ශිෂ්‍ය සම්මේලනයේදී ගුණපාල මලලසේකර මහතා දේශන පැවැත්වූවා. වැඩසටහන් නිමා වෙලා විවේක වේලාවලදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි දරුවන් සමඟ ආදරයෙන් කතාබහ කළා. අපි සමඟ කතා කරන විට අපි කොහෙද කියලා ඇහුවම පොළොන්නරුවේ කිව්වම රජරට දරුවෝ එක කතා කරන්න මං හරි කැමැතියි කිව්වා.
ඒ පැත්තේ තොරතුරු අපෙන් ඇහුවා. එවැනි යුග පුරුෂයෙක්, අමතක කළ නොහැකියි. එවැනි මානවවාදියෙක් පිළිබඳ කතා කරන්න ලැබීම ගෞරවයක් වගේම එතුමා සමඟ එදා වචනයක් දෙකක් කතා කරන්න ලැබීම ගැන මා සතුටු වෙනවා.

මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය නිර්මාණය කිරීමේදී බණ්ඩාරනායක මැතිතුමා සමඟ මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමා ඉතා විශිෂ්ට යුග මෙහෙවරක් කළ කෙනෙක්. මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියේ වටිනාකම්, ජාත්‍යන්තරව එහි ඵලදායී බව හඳුන්වා දුන් විද්වතුන් අතර මලලසේකර මැතිතුමා ඉහළම ප්‍රමුඛයෙක්. මහාචාර්ය ගුණපාල මලලසේකර මැතිතුමා පන්සිල් කියපු කෙනෙක් නෙවෙයි, පන්සිල් රැකපු කෙනෙක්. පන්සිල් රැකපු ගුණපාල මලලසේකර මැතිතුමා බණ්ඩාරනායක මැතිතුමාට දුරකතනයෙන් සුහදව කතා කරන විට කියා තිබුණා, මම පන්සිල් රකින කෙනෙක්. මගේ තානාපති කාර්යාලයේ සාදවලදී මත්ද්‍රව්‍ය භාවිත කිරීමට මගේ හිත දෙන්නේ නැහැ කියා. බණ්ඩාරනායක මැතිතුමා කියා තිබුණා මලලසේකර මැතිතුමාට, ඔබ ඔබේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. එය රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවකට කිසිදු බලපෑමක් හෝ කිසිදු බාධාවක් නොවේ කියා.

එතුමාගේ ජීවිතය ගත්විට ගුරුවරුයෙක්, කථිකාචාර්යවරයෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක්. ඔහු ජාත්‍යන්තරය දිනාගත්තේත් ලෝකය දිනා ගත්තේත් සිය මාතෘ භූමිය වෙනුවෙන්. සිය මවුබිම වෙනුවෙන් ලොව දිනාගත් එම යුගයේදී සිය මවුබිම ලොවට හඳුන්වා දුන් ශේ්‍රෂ්ඨ යුග පුරුෂයෙක් විදියට අපි එතුමාට ගරු කළ යුතු වෙනවා. එතුමාගේ චරිතයේ ආදර්ශය ගත යුතු වෙනවා.

පහන් විජේසේකර
ඡායා - තාරක බස්නායක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon