පොලිස් අත්අඩංගුවට ගත් සැලැසුම් ශිල්පියකු අසනීප වී රෝහල්ගත කර සිටියදී මිය ගිහින්

  👤  3427 readers have read this article !
By mawbima 2017-11-20

මීරිගම - දිනුෂි කේ.එම්. ආරච්චි

පදිකයකු යතුරුපැදියේ ගැටී තුවාල ලැබීම නිසා පොලිස් අත්අඩංගුවට ගත් සැලැසුම් ශිල්පියකු පෙරේදා (18දා) රාත්‍රියේ හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කිරීමේදී මරණයට පත්ව ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ බාඳුරාගොඩ පහළ මඩිතියවල පදිංචිව සිටි ඩබ්ලිව්. පී. දර්ශන විජයලත් 37 නමැති එක්දරු පියෙකි.
මරණකරු යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී (18දා) සවස මුද්දරගම ප්‍රදේශයේදී පදිකයකු හා ගැටී ඇත. තුවාල ලත් පදිකයා වූ උතුවම්බෝගහවත්තේ ඩබ්ලිව්. ඒ. ගුණරත්න 80 නමැති අය වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

පොලිස් පරීක්ෂණ පවත්වා යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පෙරේදා (18දා) රාත්‍රි ඔහු හදිසියේ අසනීප වී ඇත. වහාම ඔහු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය කටයුතු කර ඇති අතර එහිදී මියගොස් ඇතැයි හෙළි වී ඇත.

මෙම මරණය සම්බන්ධ මරණ පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (19දා) පැවැත්වීමට නියමිතව තිබිණි.
ගම්පහ කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ල මහතාගේ උපදෙස් මත අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කමල් රත්නායක මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුසන්ත මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon