මෙදා අය-වැයෙන් උතුරට හා මුලතිව් දිසාවට වෙන් කළ මුදලට වඩා වැඩි මුදලක් එන වසරේ අය-වැයෙනුත් වෙන් කරනවා

  👤  3318 readers have read this article !
By mawbima 2017-11-20

හර්ෂනී අර්සකුලරත්න -

මෙවර අය වැයෙන් විශාල මුදලක් උතුරු පළාතටත් මුලතිව් දිස්ත්‍රික්කයටත් වෙන් කර ඇති බවත් ලබන වසරේ අයවැයෙන් ද වැඩි මුදලක් උතුරු පළාතට හා මුලතිව් දිස්ත්‍රික්කයට වෙන් කර දීමට කටයුතු කරන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ පවසයි.
ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේ මුලතිව් දිස්ත්‍රික්කයේ ජීවත් වන ජනතාවගේ තෝරාගත් ප්‍රශ්න හා ගැටලු විසඳීම සඳහා මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවක් අතරතුරේදීය.

එහිදී ඉඩම් ගැටලු 41කින් 18ක් සඳහා ඒ මොහොතේම විසඳුම් ලබා දුන් අතර ප්‍රදේශයේ ජනතාවට මූලිකව පවතින ගැටලුව වන ඉඩම්, නිවාස, නළ ජලය, මාර්ග හා සනීපාරක්‍ෂක කටයුතු පිළිබඳ ආණ්ඩුකාරවරයාගේ විශේෂ අවධානය යොමු විය.
එසේම හැළඹවැව කනිෂ්ඨ විද්‍යාලයේ නව ගොඩනැඟිල්ල ඉදිකිරීමට අවශ්‍ය අනුමතය පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ප්‍රාදේශීය ලේකම්තුමාට එම මොහොතේම ලබා දීමට කටයුතු කළේය.

නිවාස යෝජනා ක්‍රම දෙකක් යටතේ පළමු අදියරේ නිවාස 50,000ක් සාදා නිම කිරීමටත් ඊට අමතරව තවත් නිවාස 3000ක් ඉදිකිරීමට කටයුතු කරන බවත් ආණ්ඩුකාරවරයා එහිදී පැවැසුවේය.

එසේම යාපනය ප්‍රදේශයේ ආර්ථික මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට කටයුතු කරන අතර එළැඹෙන 2018 වර්ෂය උතුරු පළාතට සංවර්ධන වර්ෂයක් වන බව ද හෙතෙම පැවැසීය.
මේ අවස්ථාව සඳහා මුලතිව් දිස්ත්‍රික් ලේකම්වරිය දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් හා දිස්ත්‍රික්කයේ සියලුම ග්‍රාම නිලධාරීන්, උතුරු පළාත් ඉඩම් කොමසාරිස් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් ද, උතුරු පළාත් ආණ්ඩුකාරවර ලේකම් එලංගෝවන්, ආණ්ඩුකාර පෞද්ගලික ලේකම් ජේ.එම්. සෝමසිරි ඇතුළු පිරිසක් ද තෝරා ගත් ප්‍රශ්නවලට අදාළ ප්‍රදේශයේ ජනතාව ද සහභාගි වී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon